Search This Blog

Saturday, May 25, 2019

තොරතුරු පනත

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත

ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණ සහිත රටක පුරවැසියන් විසින් තෝරා පත් කරගන්නා ලද නියෝජිත ආයතනයක (ආණ්ඩුවක) ක්‍රියාකාරිත්වය පිළිබඳව සොයා දැනගැනීමේ නීත්‍යානුකූල අයිතිය එම රටේ පුරවැසියන් සතුව පැවතීම දුෂණයට, වංචාවට, අසාධාරණයට වැට බැඳීමක් වනවා සේම රජයේ  කාර්යක්ෂමතාවය ද වඩවන්නකි. විශේෂයෙන්ම ජනතා බදු මුදල් ආණ්ඩුව වියදම් කරන්නේ කෙසේද යන්න පිළිබඳව පාරදෘශ්‍යභාවයක් තිබීම සහ මුල්‍ය ගනුදෙනු, ටෙන්ඩර් පටිපාටි පිළිබඳව නිල තොරතුරු දැනගැනීමේ හා ලියවිලි පරීක්ෂා කිරීමේ අයිතිය පුරවැසියා සතුව තිබීම රටට යහපතකි.

එමෙන්ම ආණ්ඩුව විසින් ජනතාවට නොපමාව ඉටු කළ යුතු සේවාවන් රාශියක් පවතින අතර ඒවා සිදු නොවන්නේ නම් සාධාරණය ඉෂ්ට කරගැනීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් ද තිබිය යුතුය. උදාහරණයක් ලෙස පුරවැසියන්ට අදාළ රාජ්‍ය සේවාව, රාජ්‍ය නිලධාරීන් විසින් නිසි ලෙස ඉටු නොකරන ලද්දේ නම් ඒවා කඩිනමින් ඉටු කරගැනීම සඳහා අධිකරණයේ පිහිට පැතීමට නීත්‍යානුකූල හිමිකමක් ජනතාවට තිබිය යුතුය. එවැනි අවස්ථාවලදී රාජ්‍ය ආයතන වලින් නිල වශයෙන් තොරතුරු ලබා ගැනීමේ අවශ්‍යතාවය මතුවන අතර ඒ සඳහා ගත යුතු ක්‍රියා පටිපාටිය පිළිබඳව රටක නීතිය තුළ නිශ්චිතව සඳහන් විය යුතුය. මෙම සමස්තය තොරතුරු දැනගැනීමේ අයිතිය ලෙස සරලව හැඳින්විය හැකි අතර මේ වන විට ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇති මෙම අයිතිය ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වෙමින් පවතී.

තොරතුරු දැනගැනීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගින් සහතික වුවද එය යථාර්ථයක් ලෙස භුක්ති විඳීමට පුරවැසියන්ට අවස්ථාව ලැබෙන්නේ තොරතුරු දැනගැනීම පිළිබඳව නීතියක් පාර්ලිමේන්තුව විසින් සම්මත කළ පසුවය. 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත මගින් පුරවැසියන්ට තොරතුරු ලබාගැනීමට හැකියාව පවතී. පනතේ අරමුණ එහි පුර්විකාවේ දැක්වේ. ඒ අනුව තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ පුර්විකාවට අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 අ ව්‍යවස්ථාව මගින් තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කර ඇති බැවින්, සහ තොරතුරු ලබා ගැනීමේ අයිතිවාසිකම බලාත්මක කිරීම මගින් පොදු අධිකාරීවල විනිවිදභාවය සහ වගකීම පිළිබඳ සංස්කෘතියක් පෝෂණය කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇති බැවින් එමගින් ශ්‍රී ලංකාවේ මහජනතාවට යහපාලනය සඳහා වැඩි වශයෙන් සහභාගි විය හැකි සහ රටේ පොදු ජන ජීවිතයේදී සක්‍රීය ලෙස සහභාගි විය හැකි සමාජයක් ප්‍රවර්ධනය වන බැවින් ද යනුවෙන් සඳහන් වේ.

තොරතුරු යන්නට පහත සදහන් ඒවායේ භෞතික ස්වරූපය හෝ ස්වභාවය නොසලකා සටහන්, ලේඛන, සංදේශ, විද්‍යුත් තැපැල්, මත, උපදේශ, මාධ්‍ය නිවේදන, චක්‍රලේඛ, නියම, ලොග් පොත්, ගිවිසුම්, වාර්තා, ප්‍රවෘත්ති පත්‍ර, සාම්පල්, ආදර්ශක, හුවමාරු වන ලිපි, සංදේශ, නීති කෙටුම්පත්, පොත්, පිඹුරු, සිතියම්, චිත්‍ර, රූපසටහන්, රූපමය හෝ ප්‍රස්තාරමය වැඩ හෝ ඡායාරූප, සේයාපට, ක්ෂුද්‍ර සේයාපට, ශබ්ද පටිගත කිරීම්, වීඩියෝ පට, යන්ත්‍ර මගින් කියවිය හැකි වාර්තා, විද්‍යුත් ලිපි සහ වෙනත් ලේඛනගත ද්‍රව්‍ය ඇතුළු පරිගණක වාර්තා සහ වෙනත් ලේඛනගත ද්‍රව්‍ය සහ ඒවායේ යම් පිටපත් ඇතුළත් වේ. ලබාදීම ප්‍රතික්ෂේප කළ හැකි තොරතුරු ලෙස පොදු වැදගත්කමක් නොමැති අනවශ්‍ය ලෙස යම් පුද්ගලයකුගේ පුද්ගලිකත්වයට හානි කරන, රාජ්‍ය ආරක්ෂාවට හෝ භෞමික අඛණ්ඩතාවයට හානිවන, ජාත්‍යන්තර ගිවිසුමක් හෝ බැදීමක් නිසා හෙළි කළ නොහැකි තොරතුරු, හෙළි කිරීම නිසා ආණ්ඩුවේ අඛණ්ඩ ආර්ථික ප්‍රතිපත්තිවලට බාධා විය හැකි, බුද්ධිමය දේපළ පනතට ගැනෙන වාණිජ රහස්, පුද්ගලික වෛද්‍ය වාර්තා, නීතිපතිවරයා විසින් ලබාදෙන උපදෙස් සම්බන්ධ තොරතුරු, භාරකාර සම්බන්ධතාවයක් මත රහසිගතව තබා ගත යුතු තොරතුරු, හෙළිදරව් කිරීමෙන් අපරාධ වැළැක්වීමට බාධාවක් වන තොරතුරු, මැතිවරණ නීති මගින් ලබාදීම තහනම් කර ඇති තොරතුරු, අධිකරණයට පාර්ලිමේන්තුවට අපහාස වන තොරතුරු, විභාග වලට අදාලව රහසිගතව තබා ගත යුතු තොරතුරු හැඳින්විය හැකිය. මෙම කුමන සීමාවක් තිබුණද මහජන යහපතෙහි වැදගත්කම එම තොරතුරු හෙළිදරව් කිරීමෙන් වන හානියට වඩා වැඩි නම් එවැනි තොරතුරු සඳහා වන ඉල්ලීමක් ප්‍රතික්ෂේප නොකළ යුතු බව පනත් කෙටුම්පතේ 5(4) වගන්තිය දක්වා සිටියි.

පනතේ 5 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව පොදු අධිකාරියක සන්තකයේ, භාරයේ හෝ පාලනයේ ඇති තොරතුරුවලට ප්‍රවේශ වීමේ අයිතිවාසිකම සෑම පුරවැසියෙකුටම ඇත. ඒ අනුව අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල, පළාත් පාලන ආයතන, 25% කට වඩා කොටස් රජයට හිමි සමාගම්, මහජන කාර්යයක් පිළිබඳව රජය සමග ගිවිසුමකට එළඹ ඇති පෞද්ගලික ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන වෙතින් පුරවැසියන්ට තොරතුරු ඉල්ලා සිටිය හැකිය.

සෑම පොදු අධිකාරියක්ම තොරතුරු නිලධාරියෙකු හා අභියාචනා විභාග කිරීම සඳහා නිලධාරියෙකු පත් කරන අතර ඔවුන් විසින් තොරතුරු ලබාගත හැකිය. තොරතුරු ලබා ගැනීම සඳහා දැරිය යුතු වියදම් හා ආකෘති පිළිබඳ රීති තොරතුරු කොමිසම විසින් 2017 පෙබරවාරි 3 වන දින ගැසට් පත්‍රයේ පළ කර ඇත. තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවකදී අතෘප්තිමත් වන පුරවැසියෙකුට පිළිවෙලින් අභියාචනා විභාග කිරීමේ නිලධාරියාට හා තොරතුරු කොමිසම වෙත අභියාචනා කළ හැකිය. තොරතුරු කොමිසමේ තීරණයෙන් තෘප්තිමත් නොවන ඉල්ලුම්කරුවෙකුට අභියාචනාධිකරණයට අභියාචනාවක් කළ හැකිය.

ඒ අනුව මෙම තොරතුරු දැනගැනීමේ පනත මෙරට තුළ පිහිටුවා ඇත්තේ මෙරට විනිවිදභාවය, රජයේ වගකිව යුතු බව, දූෂණයට එරෙහිව ජනතාව ආරක්ෂා කිරීම මෙන්ම ප්‍රතිපත්ති සැකසීමට මහජන සහභාගීත්වය ලබා ගැනීම ආදී කරුණු ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම මුලික කොටගෙනය.

එච්.පී.එන්.එච්.මධුරංගි


Thursday, May 23, 2019

සෞඛ්‍ය ගැටලු


ශ්‍රී ලංකාවේ වර්තමාන සෞඛ්‍ය ගැටලු

වර්තමානය වන විට ශ්‍රී ලංකාව සෞඛ්‍ය ගැටලු රාශියකට මුහුණ දෙමින් සිටියි. එම ගැටලු වලට සුදුසු විසඳුම් සොයා බලමින් ඒවා යම්තාක් දුරකට අවම කරගැනීමේ ක්‍රියාවලියක නිරත වීමට පවතින රජය උත්සහා දරයි. ශ්‍රී ලංකාවේ වර්තමාන සෞඛ්‍ය ගැටලු කිහිපයක් විස්තරාත්මකව පහත පරිදි දැක්විය හැකිය.
.    ඩෙංගු
ඩෙංගු වෛරසය දිවයිනේ බොහෝ ප්‍රදේශයන් වල විශේෂයෙන්ම වඩාත් නාගරීකරණය වු හා ජනාකීර්ණ ප්‍රදේශයන් වල වසර මුළුල්ලේම පැතිරයාමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරයි. වර්ෂා කාලයට විශේෂයෙන් කතාබහට ලක්වන වර්ෂාව නිමවූ පසු මිනිසුන්ට අමතක වී යන ඉතාමත් භයානක රෝග තත්ත්වයක් ලෙස මෙය හැඳින්විය හැකිය. වර්ෂාවත් සමග ඩෙංගු ව්‍යාප්තිය ඉතා සීඝ්‍රයෙන් ඉහළ යයි. සාමාන්‍යයෙන් වසරකට 5000 සිට 10000ක් පමණ මෙම රෝග තත්ත්වය වාර්තා වන අතර සාමාන්‍යයෙන් පසුගිය අවුරුදු වල වසරකට රෝගීන් 50ක් පමණ මිය යන නමුත් මේ වන විට මෙම තත්ත්වය ඉතා පහළ අගයකට අඩුවී ඇත. ඩෙංගු රක්තපාත නම් උණ තත්ත්වය මෙම මරණවලට හේතු වී ඇත.

ඩෙංගු රෝගය ඊඩිස් මදුරුවා රෝග වාහකයා කරගත් රෝගයක් වන අතර මදුරුවා සුදුපාට ලප සහිත මදුරු විශේෂයකි. ඊඩිස් ඊජිප්ටයි ඇල්බොපික්ටස් මගින් මෙම රෝගය බෝවේ. මෙම ගැහැණු මදුරුවෙකු ඩෙංගු ආසාදිත පුද්ගලයකු දෂ්ට කර රුධිරය උරා බීමෙන් අනතුරුව එම රුධිරය සමඟින් ඩෙංගු වෛරසය එම මදුරුවාට ඇතුළු වේ. පසුව එම ගැහැණු මදුරුවා වෙනත් පුද්ගලයෙකුට දෂ්ඨ කළ විට ඩෙංගු වෛරසය ද එම පුද්ගලයාගේ සිරුරට ඇතුළු වේ. මෙසේ එම වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිර යා හැකිය .ඩෙංගු මදුරුවන් බොහෝ විට දෂ්ඨ කරනුයේ දිවා කාලයේදී පමණක් වුවද මේ වන විට ඔවුන් දවස පුරාම සක්‍රීය බව වාර්තා වේ.
වෛරසය ශරීරගතවූවන්ගෙන් බහුතරයක් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අතර සාමාන්‍ය වෛරස් උණක රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. සුළු පිරිසක් පමණ රක්තපාත උණ නැතහොත් ඩෙංගු කම්පන තත්වයට පත්විය හැක. ඩෙංගු වැළඳුනු රෝගියෙකු තුලින් රෝග ලක්ෂණ බාහිරට පෙන්නුම් කිරීමට දින 3 සිට 14ක් පමණ කාලයක් ගත විය හැකි  නමුත් බොහෝ විට ඩෙංගු දින 3 සිට 7ක් පමණ ගතවීමෙන් අනතුරුව රෝග ලක්ෂණ ඇති වේ. රෝග ලක්ෂණ අනෙක් උණ රෝග වලට සමාන බැවින් ඩෙංගු රෝගය වෙනත් උණ රෝග වලින් වෙන් කර හදුනා ගැනීම මුල් දින 2 තුළ තරමක් අපහසු වේ. ඩෙංගු රෝගය ඩෙංගු උණ, ඩෙංගු රක්තපාත උණ හෝ ඩෙංගු කම්පන ලක්ෂණ විවිධ මට්ටම් වලින් හටගනී. එම ලක්ෂණ පහත පරිදි වේ.
·         තද හිසේ කැක්කුම
·         ඇස් යට වේදනාව
·         හන්දි වේදනාව
·         ආහාර අරුචිය
·         මාංශ පේශිවල කැක්කුම
·         වමනය
·         සමේ ඇතිවන රතු පැහැති පැල්ලම්
·         දත්මුල් වැනි ස්ථාන වලින් ඇතිවන ලේ වහනය

ප්‍රධාන වශයෙන් රුධිර පරීක්ෂණ මගින් ඩෙංගු හඳුනාගැනීම සිදුවේ. FBC (Full Blood Count) යන පරීක්ෂණය මෙහිදී ප්‍රමුඛ වන අතර ඊට අමතරව ප්‍රතිදේහ සඳහා ද යොමු විය හැකිය. මීට අමතරව ඩෙංගු රක්තපාත තත්ත්වයේ දී අතිධ්වනි තරංග පරීක්ෂා වැනි පරීක්ෂණවලට ද යොමු වීමට සිදුවේ. මෙය බොහෝ විට ගැටලුවක් නොමැතිව සුව වන බැවින් මුලික වශයෙන් රෝගියා පරීක්ෂා කිරීම සිදුවේ. ඒ සඳහා රෝහල් ගත විය යුතුය. තවද රෝහල් ගත වීමෙන් පසු දියර වර්ග පාලනයකින් යුතුව ලබා දීම සිදුවේ. රුධිර පට්ටිකා වර්ධනය වන පානයන් පානය කිරීම වඩාත් යෝග්‍ය වේ.

ඩෙංගු රෝගය මාරාන්තික රෝගයක් වන අතර ඩෙංගු රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එබැවින් ඉහත රෝග ලක්ෂණ ගළපා ගැනීමේදී ඉතා ප්‍රවේශම් විය යුතු අතර උණ රෝගයක් වැළඳුණු විට වෛද්‍යවරයා වෙත ගොස් වෛද්‍ය සහය පැතීමත් රුධිර පරීක්ෂාවට ලක් කිරීමත් ඉතා වැදගත් වේ. ඩෙංගු රෝගය සෑදුනු සෑම අයකුටම අසාධ්‍ය නොවන අතර ඩෙංගු රෝගය වැළඳුනු රෝගීන්ගෙන් 80% පමණ එතරම් අසාධ්‍ය නොවී සුව වේ.

2018 වර්ෂයේ ගත වු කාල සීමාව තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 13000 පමණ වාර්තා වී ඇතිි අතර එය 2017 වර්ෂයේ එම කාලය හා සැසඳීමේදී 50%ක අඩුවීමක් දක්නට ලැබේ. මෙම තත්වය තවදුරටත් අවම කරගැනීම සඳහා බස්නාහිර පළාත තුළ හා මඩකලපුව දිස්ත්‍රික්කය තුළ හඳුනාගත් වැඩි අවදානම් ප්‍රදේශවල ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සෞඛ්‍ය කණ්ඩායම් 450ක ගේ පමණ සහභාගීත්වයෙන් විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වේ.
නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්තශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන වැනි ඕනෑම පරිශ්‍රයක ඩෙංගු මදුරුවන් බෝවීමට අවධානමක් ඇති හෙයින් අවම වශයෙන් සතියකට විනාඩි 30ක් මේ  පිළිබඳව විපරම් කොට මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාව වෙත අවධාරණය කරයි.

.    වකුගඩු රෝගය
වර්තමානයේ පවතින බරපතල සෞඛ්‍යමය ගැටලුවක් බවට පත් වී ඇති වකුගඩු රෝගය මේ වන විට උතුරු මැද පළාතේ ප්‍රබලම සෞඛ්‍යමය ගැටලුව බවට පත්ව වී ඇත. ගිරාදුරුකෝට්ටේ, කුරුණෑගල, ඇඹිලිපිටිය, හම්බන්තොට යන ප්‍රදේශවලින් රෝගීන් විශාල වශයෙන් හමුවීම තුළින් මෙම රෝගය ලංකාවේ අනෙකුත් පළාත් වලද පැතිරී පවතින බව පැහැදිලි වේ.

වකුගඩු රෝගය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයකට පෙර මුල් අවස්ථාවේදීම රෝගය හඳුනාගැනීම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුට ඉතා පහසු කාරණයකි. එහෙයින් මෙම රෝගය පැතිරෙන ප්‍රදේශ හා ගොවිතැන් බහුලව සිදු කරන ප්‍රදේශවල නිරෝගී පුද්ගලයන් පරීක්ෂාවට ලක් කිරීම ඉතා වැදගත් වේ. මන්දයත් රෝගය සාමාන්‍යයෙන් හඳුනා ගැනීමට හැකි වන්නේ රෝගය ඇතිවී තුන්වන අවධිය පසු වුවාට පසුව එනම් රෝගීයාගේ මුත්‍ර පෙරීම අවම වීම තුළිනි. වකුගඩු රෝගයෙහි ලක්ෂණ ලෙස වමනය, හිසරදය, අධික මුත්‍ර පහවීම, අධික තෙහෙට්ටුව, හිසරදය, ඇගේ දුර්වලකම දැක්විය හැකිය. රෝගයෙහි තුන්වන අවධියේදී රෝගීයාගේ බාහිරව අත්පා ඉදිමීම, අධිරුධිර පීඩනය, ඇනීමියා තත්ත්වය ඇති වීම දක්නට ලැබේ. මෙහිදී හෘදයේ හා වකුගඩුවල ක්‍රියාකාරිත්වය අවම වීම තවත් රෝග ලක්ෂණයකි.

තුන්වන අවධියේ සිට රෝගීයාගේ අවසන් මොහොත දක්වා අවධි දෙකක් පසු කළ යුතුය. 4 වන අවධියේ රුධිර පාරවිලයනය ද අවසන් අවස්ථාවේදී වකුගඩු බද්ධ කිරීමට ද සිදුවේ. මේ නිසා රෝගීයාට හා පවුල්වල පුද්ගලයන්ට අධික වැය බරක් මේ සඳහා දරන්නට සිදුවේ. වැඩි වශයෙන් මෙම රෝගී තත්ත්වයට ගොදුරු වී ඇත්තේ දරිද්‍රතාවයෙන් පෙලෙන ගොවිතැනෙහි යෙදී සිටින්නන් වීම නිසා බොහෝ විට නිසි ප්‍රතිකාර ලබා ගැනීමට ඔවුන්ට හැකියාව නොලැබේ. මේ නිසා මෙය බරපතල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වීමට හේතුවක් වී ඇත.
කැඩ්මියම්, ආසනික්, රසදිය වැනි බැර ලෝහ මෙම රෝගයට හේතුකාරක වී ඇත. බෝග වගාවේදී අධික වශයෙන් කෘමිනාශක භාවිතය හේතුකොටගෙන එම කෘමිනාශකවල ඇති අධිසාන්ද්‍රීය බැර ලෝහ පසට එක්වේ. මෙම පසෙහි කරන වගාවන්ට මෙම ද්‍රව්‍ය ඇතුළුවීමත් මිනිසාගේ සිරුරට එම ආහාර මගින් විෂ රසායන ඇතුල්වීමත් සිදුවේ.

එපමණක් නොව මෙම රෝගය පැතිරී යන ප්‍රදේශවල ජලයේ ආස්‍රැතභාවය හේතුකොටගෙන සිරුරට අහිතකර කැල්සියම් ආසනේට් තත්වයක් ඇතිවී එය මෙම බැර ලෝහ හා එක්වී වකුගඩු අක්‍රිය කරන තත්වයට පත්වේ. එසේ නම් ලංකාව පුරා කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කරන නමුත් එම ප්‍රදේශවල පමණක් වකුගඩු රෝගය ඇති වෙන්නේ ඇයි දැයි  ගැටලුවක් පැන නගී. සෑම කෙනෙක්ම ආහාරයට ගන්නේ විෂ රසායන ද්‍රව්‍ය ඇතුල් වු ආහාර වුවද එහි අඩංගු බැර ලෝහ හා ක්‍රියාකර වකුගඩු අක්‍රිය කරන ආස්‍රැත ජලය අනෙක් ප්‍රදේශවල නොමැති වීමයි. මෙම රෝගය පැතිරී යාම වැළැක්වීම සඳහා පළමුව කළ යුත්තේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අමතරව නිරෝගී පුද්ගලයන් මේ පිළිබඳව දැනුවත් කිරීමයි. මෙහිදී රෝගය වැළඳෙන කණ්ඩායම පිළිබඳව කරන ලද සමීක්ෂණ වලදී අවුරුදු 20 අඩු රෝගීන් සංඛ්‍යාව ඉතා අඩුම මට්ටමක පවතින අතර වැඩිපුරම රෝගය වැළඳී ඇත්තේ අවුරුදු 35-45ත් අතර පුද්ගලයින්ට බව හඳුනාගෙන ඇත. එහෙයින් අවුරුදු 20 ට අඩු අය දැනුවත් කිරීම තුළින් අනාගතයේදී මෙම රෝගය ව්‍යාප්ත  වීම වළක්වා ගැනීමට හැකිවනු ඇත. 

කෘමිනාශක භාවිතයේදී නිවැරදි ක්‍රමවේදයන් භාවිතා නොකිරීම, කෘමිනාශක වැඩිපුර වැව්වලට එකතු වීම තුළින් එම වැව් ජලය ජනතාව පානය කිරීම මෙම රෝගය පැතිරීමට එක් හේතුවක් ලෙස සැලකිය හැකිය. මේ නිසා පිරිසිදු ජලය භාවිත කිරීම ඉතා වැදගත් වේ. එමෙන්ම රෝගය ව්‍යාප්ත වන  ප්‍රදේශවලට මෙම බැර ලෝහ වලින් තොර ජලය ලබාදීම තුළින් මෙම රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට විශාල රුකුලක් වනු ඇත.
බොහෝ විට වගාවන් වලදී වල් මර්දනය, කෘමි පාලනය, නයිට්‍රජන් ඌනතාවය හා අධි අස්වැන්නක් සඳහා කෘෂි රසායන භාවිතය අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්වී ඇත. නමුත් කාබනික පොහොර හා පැරණි ක්‍රම භාවිත කරමින් ඉහත සාධක සියල්ල සපුරාලමින් වී හා වෙනත් බෝග වර්ග වගා කිරීමට බොහෝ ගොවීන් අද යොමුවී ඇති අතර එයින් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව පෙනේ. සුවඳැල් පච්චපෙරුමාල් වැනි වී වර්ග කාබනික පොහොර භාවිතා කර වගා කිරීමෙන් කෙටි කාලයකින් අසන්න ලබාගැනීමට හැකි වී ඇත.
සාමාන්‍යයෙන් සිරුරට අවශ්‍ය වන ආසනික් ප්‍රමාණය ලීටරයකට මයික්‍රො ග්‍රෑම් 10 කි. නමුත් අද වෙළඳපොලේ ඇති කෘෂි රසායන ද්‍රව්‍යවල ලීටරයක මයික්‍රො ග්‍රෑම් 200 -1500 දක්වා පරාසයක ආසනික් අඩංගුය. මෙම රසායන ද්‍රව්‍ය උපයෝගී කරගෙන වගා කිරීම තුළ සහල් කිලෝ ග්‍රෑම් එකකට මයික්‍රො ග්‍රෑම් 200-1000 දක්වා ඇතුල් වේ. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයන්ට අනුව පැවතිය යුත්තේ කිලෝග්‍රෑම් එකකට මයික්‍රො ග්‍රෑම් 150ක් පමණි. 

ක්ෂණික ආහාරවල ඇති E කාණ්ඩයට අයත් රසකාරක වකුගඩු ආශ්‍රිත රෝග හා පිළිකා ඇතිකිරීමට හේතුවන හෙයින් එම ආහාර ගැනීමෙන් වැළකී සිටීම තුළින් මෙම රෝග හට ගැනීමේ ඉඩකඩ අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව වකුගඩු රෝගය අප රටින් තුරන් කිරීමට අප සැවොම එක්ව කටයුතු කළ යුතුය. ඒ සඳහා රෝගය පැතිර යන ප්‍රදේශවලට පිරිසුදු ජලය ලබාදීමට පියවර ගැනීම, විෂ රසායන ද්‍රව්‍ය වලින් තොර ආහාර බෝග වගා කිරීමට අවශ්‍ය සහාය ලබාදීම රජයේ වගකීම වන අතර මේ සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම අපගේ යුතුකම වන්නේය.

.    ඉන්ෆ්ලුවෙන්සා
ඉන්ෆ්ලුවෙන්සා යනු වෛරසයක් මගින් බෝවන රෝගයකි. එය සාමාන්‍ය කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණට බෙහෙවින් සමාන වන අතර ඉන්ෆ්ලුවෙන්සා වෛරසය විවිධ ප්‍රභේද ඔස්සේ ශ්වසන පද්ධතිය ආසාදනය කරයි. වෛරසය ශරීරගත වන්නේ මිනිසාගෙන් මිනිසාටය. රෝගියකු කහින විට හෝ කිවිසුම් අරින විට ඔහුගේ කෙළ, සෙම හෝ සොටු බිඳිති මඟින් නිරෝගී පුද්ගලයන්ගේ සිරුරට වෛරසය ඇතුළු වේ. රෝගයෙහි පෝෂණ සමය වෛරසය ශරීරයට ඇතුළු වී දින එකේ සිට දින හත දක්වා වේ. රෝග ලක්ෂණ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා උණ රෝග ලක්ෂණවලට සමාන වුවත් මෙම‍ වෛරසය ආසාදනය වන ආකාරය අනුව රෝග ලක්ෂණ අඩු වැඩි වශයෙන් පෙන්වීමට හැකිය. මෙම රෝගයේ දී එය ආසාදනය වීම ප්‍රධාන වශයෙන් ගෙලෙන් ඉහළ පෙදෙස එනම් උගුර, නාසය, සුසුම්නාව හෝ ස්වරාලය ආශ්‍රිතව සිදුවූ විට සෙම, සොටු ගැලීම, උගුරේ ආසාදන, කැස්ස, උණ වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. මෙම අවස්ථාව එතරම් බරපතල ද නොවේ. එහෙත් බෙල්ලෙන් පහළ එනම් පෙනහලු ආසාදනය වීමක් මගින් නිව්මෝනියා තත්ත්වයට පවා පත්විය හැකි අතර එම නිසා එවැනි රෝගීන් මරණයට පත් වීම පවා සිදුවිය හැකිය.

ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ මතු වු වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමු නොවී සුළු සුළු ප්‍රතිකාර යෙදීම ද රෝගය උත්සන්න වීමට බලපාන කරුණු අතර වේ. නිවසේ පුද්ගලයකුට හෝ තමන්ට ඉන්ෆ්ලුවෙන්සා වැළඳුනහොත් නිවසේ කාමරයට වී හුදකලාව විවේක ගැනීම වඩා සුදුසුය. විවේක ගන්නා අතරතුර නිසි ප්‍රතිකාර වලට යොමුවිය යුතුය. රෝගී වු පුද්ගලයා හුද‍ෙකලාව විවේකීව සිටීමෙන් රෝගය සුව වීමට පහසු වෙනවා සේම රෝගය අන් අයට පැතිරීම ද වළක්වා ගත හැකිය. රෝගය ඇති වු විට හුස්ම ගැනීමේ වේගය වැඩිවන්නේ නම් හෝ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වන්නේ නම් වහාම රෝහල්ගත වීම හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම ඉතා ඉක්මනින් කළ යුතුය. ගර්භනී මාතාවන් සහ කුඩා දරුවන් අත්‍යවශ්‍යම කාරණයකට හැරුණු කොට මහජනයා වැඩිපුර ගැවසෙන ස්ථානයන්ට හෝ පොදු වාහනවල නොයා සිටීම රෝගය වැළඳීම වළක්වා ගත හැකි පහසු ක්‍රමයකි. වෛරසයක් ආසාදිත වූවන් නිතරම දෙඅත් පිරිසුදුව තබා ගත යුතු අතර භාවිතා කරන ලේන්සු ආදිය නිතර පිරිසුදුව තබා ගැනීමට වගබලා ගත යුතුය. කඩදාසි භාවිතයෙන් පසු ආරක්ෂිතව බැහැර කිරීමද වැදගත්ය.

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ද ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිර යමින් පවතී. විශේෂයෙන්ම දකුණු පළාතේ ඉන්ෆ්ලුවෙන්සාවේ වර්ගයක් වන AH1N1 නමැති වෛරසය බහුලව පැතිරී ඇත. මේ වන විට දකුණු පළාතේ දරුවන් හා වැඩිහිටියන් විශාල ප්‍රමාණයක් ඉන්ෆ්ලුවෙන්සා විසින් ගොදුරු කරගෙන ඇත. මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු දකුණු පළාතේ රෝහල්වල වසංගත තත්ත්වය පාලනය වී තිබුනද ගම්පහ මහ රෝහලේ සහ මහනුවර ශික්ෂණ රෝහලේ ද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ද සැලකිය යුතු තරමේ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන බව කියැවේ. ඒ අනුව පෙනී යන්නේ අවදානම තවමත් පහව ගොස් නැති බවයි.

.    පියයුරු පිළිකා
වර්තමානය වන විට ලංකාවේ වසරකට පිළිකා රෝගයට ගොදුරු වන සංඛ්‍යාව 17000ක් පමණ වන අතර ඉන් 2500ක්ම පියයුරු පිළිකා රෝගීන් වේ. අද වන විට ලංකාවේ කාන්තාවන් අතර බහුලවම වාර්තා වන පිළිකාව වනුයේ පියයුරු පිළිකාවයි. එමෙන්ම පසුගිය වසර 25ක කාලය තුළ අලුතෙන් හඳුනාගත් පියයුරු පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වැඩි වී තිබේ. ජානවල සිදුවන කිසියම් අසාමාන්‍ය තත්ත්වයක් හේතුකොටගෙන කිසිදු පාලනයකින් තොරව අසාමාන්‍ය ලෙස සිදුවන සෛල වර්ධනයක් හෙවත් සෛලවල බෙදී යාම හේතුවෙන් පිළිකා හටගනී. මෙයින් සමහර පිළිකා උපතින්ම හෙවත් ප්‍රවේණිගතව හා පාරිසරික හේතු අනුව හටගනී. පියයුරු පිළිකාවක් හට ගැනීම සඳහා ප්‍රවේණිගත තත්ත්වය හේතු වන්නේ සියයට 5%ත් 10% අතර ප්‍රමාණයකි. 

පියයුරු පිළිකාව මුල්ම අවස්ථාවේ හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් සම්පූර්ණයෙන්ම පියයුරම ඉවත් නොකර වඩාත් සරල ශල්‍යකර්ම ක්‍රම මගින් පිළිකා පමණක් ඉවත් කර වඩාත් ගුණාත්මක ජීවිතයක් ගත කිරීමේ හැකියාව තිබේ. නමුත් අද බොහෝ දෙනෙක් ප්‍රතිකාර සඳහා යොමු වන්නේ රෝගය උත්සන්න වු විටය. එමෙන්ම යම් සැක සහිත බවක් ඇති වුවහොත් පිළිකාවක්ද යන බිය නිසාම බොහෝ දෙනෙකු මේ පරීක්ෂාව කිරීමට මැලිකමක් දක්වයි. ඒ හේතුවෙන් පිළිකා රෝගී තත්ත්වය උත්සන්නම අවස්ථාව දක්වා පැතිර ගිය අවස්ථාවේදී ප්‍රතිකාර සඳහා යොමුවේ. එවිට පිළිකාව අනිකුත් ඉන්ද්‍රියන් කරාද පැතිරී ගොස් තිබිය හැකිය.

පියයුරු පිළිකාවක් සෑදීමේ අවදානමක් පවතින සාධක ලෙස කාන්තාවක් වීම, වයස්ගතවීම, ලේ ඥාතීයෙකු වීම හෝ ඥාතීන් කීපදෙනෙකුට පියයුරු හෝ ඩිම්බ පිළිකා වැළඳී තිබීම, ඊස්ට්‍රජන් හෝමෝනයට දිගු කලක් නිරාවරණය වීම හෙවත් වයස අවුරුදු 12ට පෙර වැඩිවියට පත්වීම, වයස අවුරුදු 55 පසුවන තුරු ආර්තවහරණය නතර නොවීම, දරුවන් නොමැති කාන්තාවක් වීම හා ජානමය තත්ත්වයන් උද්ගත වීම හැඳින්විය හැකිය.
පියයුරු පිළිකාවල රෝග ලක්ෂණ :-
  •          පියයුරුවල ගැටිත්තක් තිබීම.
  •          පියයුරුවල මෑතකදී ඇතිවුනු හැඩයේ හෝ පෙනුමේ වෙනසක් පෙනීම.
  •          පියයුරුවල වල ගැසීමක් හටගැනීම.
  •          පියයුරුවල මෑතකදී හටගත් අසමමිතික හැඩයක් තිබීම.
  •          සම මතුපිට දදයක් හෝ තුවාලයක පැහැයේ වෙනසක් තිබීම.
  •          තන පුඩුවෙන් කිරි නොවන වෙනත් ශ්‍රාවයක් වෑස්සීම.
  •          පියයුරුවල නිතරම පවතින අසාමාන්‍ය වේදනාව.

මෙම රෝග ලක්ෂණ පිළිකාවක් නොවන අවස්ථාවකදී වුවද තිබිය හැකිය. එහෙත් මෙවැනි ලක්ෂණ පහළ වී ඇත්නම් පියයුරු පිළිකාවක් නොවන බවට තහවුරු කරගැනීම සඳහා රජයේ රෝහලකට ගොස් වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

පියයුරු අසාමාන්‍යතාවන් හඳුනාගැනීමට නම් සෑම කාන්තාවක්ම තමාගේ පියයුරුවල ප්‍රමාණය හා ස්වභාවය කුමක්දැයි හඳුනාගත යුතුය. මේ සඳහා ස්වයං පියයුරු පරීක්ෂාව වැදගත් වේ. තමාට පියයුරු පිළිකාවක ලක්ෂණ තිබේදැයි බලා ගැනීම සඳහා දැනුවත් වීමක් හා අවධානයෙන් සිටීමත් වැදගත් වේ. වයස අවුරුදු 20 ට වැඩි සෑම කාන්තාවක්ම මසකට වරක් හෝ තමන්ගේ පියයුරු පරීක්ෂා කරගැනීම කළ යුතුය. මෙහිදී කණ්ණාඩියක් ඉදිරියට ගොස් පියයුරු නිරාවරණය කර ඉහත සඳහන් කළ වෙනස්කම් තිබේ දැයි නිරීක්ෂණය කළ යුතු අතර පියයුරු සමේ වෙනසක් තිබේද? ගැටිති ස්වභාවයක් තිබේද? යන්න අතින් ස්පර්ශ කර හඳුනාගැනීමට උත්සාහ කළ යුතුය.

එසේ සැක සහිත ලක්ෂණ තිබේ නම් ළඟම තිබෙන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය මගින් පවත්වාගෙන යන සුවනාරි සායන වලට, රජයේ රෝහල්වල පවත්වාගෙන යන සුව දිවි සායනවලට සහභාගි වී උපදෙස් ලබාගෙන ඒ අනුව ප්‍රතිකාර ගැනීම කළ යුතුය.

ශ්‍රී ලංකාවේ වර්තමානය වන විට පුරුෂයින්ද පියයුරු පිළිකාවලට ගොදුරු වෙමින් පවතී. නමුත් බහුතරයක් පුරුෂයන් ඒ සම්බන්ධයෙන් දැනුවත් නොමැත. පියයුරු පිළිකාවට ගොදුරු වන කාන්තාවන් 4000ත් 5000ත් අතර සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව වාර්තා වන අතර පුරුෂයන් වාර්තා වන්නේ පනස් දෙනකු පමණ අඩු ප්‍රමාණයකි. පුරුෂයන්ට පියයුරු පිළිකා ඇතිවීමට හේතු කිහිපයක් බලපෑ හැකි බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති. ඒවා නම් ඊස්ට්‍රජන් හෝමෝන වැඩිවීම, ජානමය හේතු, අක්මාව ආශ්‍රිත රෝග, අධික රුධිර පීඩනය සඳහා ලබාදෙන ඖෂධ, ඇතැම් නිදි පෙති වර්ග හා තරබාරුව යන ඒවා වේ.
පුරුෂ පියයුරු පිළිකාව ශ්‍රී ලංකාවේ බහුලව දැකිය නොහැකි නිසා ඒ පිළිබඳ විමසිලිමත් වීම ද අඩුය. නමුත් යම් පුරුෂයකුගේ පියයුරු සාමාන්‍යයෙන් පුරුෂයකුගේ තිබිය යුතු ප්‍රමාණයට වඩා විශාල නම් ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.

.    ඒඩ්ස්
ඒඩ්ස් යනු මාරාන්තික වුවද සමාජයෙන් වසන් වීමට වෙර දරන සමාජය තුළ පිළිලයක් මෙන් කාටත් හොරාම වර්ධනය වන්නකි. ඒඩ්ස් රෝගීයෙක් ලොව මුලින්ම හඳුනාගත්තේ 1981 වසරේදී ලොස්ඇන්ජලීස් රෝහලෙනි. ඒඩ්ස් රෝගය අද වන විට ලෝකය පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින රෝගයක් ලෙස හඳුන්වා දීමට හැකිය. ආසන්න වශයෙන් ලෝක ජනගහනයෙන් මිලියන 35.5 එච්.අයි.වී වෛරසය ආසාදනය වීමක් සහිතව ජීවත් වේ. එය ලෝක ජනගහනයෙන් ඉතා විශාල ප්‍රතිශතයක් වන අතර සෑම වසරකදීම ලොව පුරා මිලියන දෙකක ජනතාව ඒඩ්ස් වලින් මිය යති. ආසන්න වශයෙන් 90%ක් පමණම එච්.අයි.වී ආසාදනය ව්‍යාප්ත වන්නේ ලිංගික සංසර්ගය මගින් වුවත් රුධිර පාරවිලයනය, මත්ද්‍රව්‍ය, මවගෙන් දරුවාට වැනි ක්‍රම මගින් ද මෙය ව්‍යාප්ත වීමේ අවදානම පවතී. ලෝක ඒඩ්ස් දිනය දෙසැම්බර් 01 වෙනිදාට යෙදී ඇත.
සතියකට එච්.අයි.වී ආසාදිතයන් හතර දෙනෙකු මෙරටින් වාර්තා වන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය පවසයි. එම තත්ත්වය ඉතා භයානක කරුණක් වන්නේ එච්.අයි.වී යනු බෝවන රෝගයක් මෙන්ම මාරාන්තික රෝගයක් වන බැවිනි. මිලියන 20.6ක් වන අපගේ ජනගහනයෙන් සතියක් තුළ සිව්දෙනෙකු එච්.අයි.වී ආසාදිතයකු වීම යනු අප රටේ වැඩි ජනගහනයක් ඒඩ්ස් රෝගීන් වීම තව නොබෝ කලකින්ම සිදුවීමේ සම්භාවිතාව වැඩි වීමයි. එබැවින් ඒ පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමු කර ක්‍රියා කළ යුතු කාලය එළඹ ඇත.

මේ වන විට ඒඩ්ස් පාලනය කිරීමට පමණක් ඖෂධ සොයාගෙන ඇත. ඒඩ්ස් රෝගී තත්ත්වය එච්.අයි.වී ආසාදනයේම යම් රෝගී තත්ත්වයකි. එච්.අයි.වී වෛරසය ඒඩ්ස් තත්ත්වයට පැමිණි විට එය කිසි ලෙසකින් ඖෂධ වලින් පාලනය කළ නොහැකිය. එච්.අයි.වී ආසාදනය වු කෙනෙක් රෝග ලක්ෂණ නොපෙන්විය හැකිය. නැත්නම් ලක්ෂණ ස්වල්පයක් පමණක් පෙන්විය හැක. වැඩිහිටියෙකු තුළ රෝග ලක්ෂණ තිබීමට වසර 10ක වැනි දිගු කාලයක් තිබිය හැකිය. ළමයින් තුළ වසර දෙකක් රෝග ලක්ෂණ නොතිබිය හැකිය. මේ කාලය තුළ එච්.අයි.වී වෛරසය තවමත් සිරුරේ ඇත. රෝගීයාගේ ප්‍රතිශක්ති පද්ධතිය සෙමින් හානිකර වන අතර ප්‍රතිශක්ති පද්ධතිය රෝගී වන විට තව රෝග ලක්ෂණ ඇතිවේ. ඉදිමුණු ග්‍රන්ථි ප්‍රථම ලක්ෂණයක් වේ.

වෙනත් ලක්ෂණ ලෙස දුර්වල හා මහන්සි වීම, ආහාර රුචිය නොතිබීම හා බර අඩු වීම, නිතර උණ තිබීම හා දහඩිය වැඩිපුර දැමීම, සමේ පැල්ලම් කිහිපයක් තිබීම, තෘෂ් නම් රෝගයක් මුඛයේ හෝ යෝනි මාර්ගයේ තිබීම හා බොහෝ දේවල් අමතක වීම පෙන්වා දිය හැකිය. රෝගීයාගේ ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල වන විට රෝග ලක්ෂණ වැඩි වේ. නිව්මෝනියාව, ක්ෂය රෝගය, පිළිකා හෝ චිත්ත වික්ෂේපය වැනි ම‍ොළයේ රෝග ඇතිවිය හැක. වෙනත් රෝග ලක්ෂණ ලෙස කැස්ස, හුස්ම ගැනීම අපහසු වීම, වලිප්පුව, ව්‍යාකූල වීම, දේවල් අමතක වීම, උණ, සුව නොවන පාචනය, පෙනීමේ දුර්වලතාව, වමනය, බර අඩු වීම, සමේ දද කුෂ්ඨ තිබීම, පීඩන තුවාල, ඇලවෙන ඇස් පෙන්වාදිය හැකිය. සමහර රෝගීන් මිය යන තෙක් මේවා දරුණු වේ. වෙනත් අය ඉතා ආසාධ්‍ය වී කාලයකට සුව වී නැවත රෝගී වෙති. එ්ඩ්ස් රෝගීන්ට ක්ෂය රෝගය ඇතිවුවහොත් එයින් සුව විය හැක. එච්.අයි.වී බෝවෙන ආකාරය ගැන මොහොතක් කල්පනා කළහොත් එච්.අයි.වී ආසාදනය වන ප්‍රධාන ක්‍රම 3කි. ඒවා පහත පරිදි වේ.
  1.         එච්.අයි.වී ආසාදිතයෙකු සමග පවත්වන අනාරක්ෂිත ලිංගික සංසර්ගයේදී
  2.          එච්.අයි.වී ආසාදිත රුධිරය හෝ රුධිර නිෂ්පාදන ශරීරයට ඇතුළු වීමෙන්
  3.         එච්.අයි.වී ආසාදිත මවකගෙන් උපදින දරුවාට ආසාදනය වීමෙන්

එමෙන්ම උක්ත පැවසූ ක්‍රම තුනට අමතරව ද එච්.අයි.වී ආසාදනය වන තවත් ක්‍රම කිහිපයක් ගැනද අප සැලකිලිමත් විය යුතුය. එච්.අයි.වී වෛරසය කෙනෙකුගේ ශරීරයට ඇතුළු වීමට නම් ඒ පුද්ගලයාගේ සිරුර තුළට රුධිරය යම් ප්‍රමාණයක් ඇතුළු විය යුතුය. ආසාදනය වු පුද්ගලයෙකුගේ ඉතා කුඩා තුවාලයකින් හෝ සිරීමකින් ආසාදන තරල තවත් කෙනෙකුගේ සිරුරට ඇතුළු වු විට මෙය බෝවීම සිදු විය හැක. රුධිර පාරවිලයනය හෝ ශරීර අවයව බද්ධයක දී එච්.අයි.වී ආසාදනයක් ඇතිවීමේ ඉඩකඩක් පවතී. එසේම මත්ද්‍රව්‍ය ලෝලීන් අතර ඒ සඳහා භාවිතා වන කටු හෝ එන්නත් කටු හුවමාරු කරගන්නා බැවින් එච්.අයි.වී ආසාදනය වීමේ වැඩි ඉඩකඩක් පවතී. ශරීර අවයව විද ගැනීම, පච්ච ගැසීම වැනි කාර්යයන් වලදී භාවිතා කරන උපකරණ ජීවාණුහරණය කිරීමෙන් තොරව භාවිතා කිරීමද එච්.අයි.වී ආසාදනය විය හැකි තවත් ක්‍රමයකි.

ලිංගාශ්‍රිත රෝග සායනයකට යොමු වී වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් ද රුධිර පරීක්ෂණයක් කර ගන්නේ නම් ඉතා වැදගත්ය. තම ගමේ ලිංගාශ්‍රිත රෝග සායනයට යෑමට අපහසුතාවයක් තිබේ නම් නගරයට පැමිණ වෛද්‍යවරයෙකු හමු වී රුධිර පරීක්ෂණයක් කරගැනීම ඔබගේ ශරීර සුවතාවට ඉතාම අගනේය.
අප රට තුළ තිබෙන වෛද්‍ය පහසුකම් සමග කෙනෙකුට එච්.අයි.වී ආසාදනය වී ඇත්දැයි දැනගැනීමට නම් මාස තුන හතරක් ගතවේ. අනාරක්ෂිත ලිංගික සබඳතාවලදී කොන්ඩම් භාවිතා කිරීම ලිංගාශ්‍රිත රෝග ආසාදනය වීමේ අවදානම අවම කරගත හැකි එක් ක්‍රමයකි. විශේෂයෙන්ම රුධිර පාරවිලයනය වැනි ක්‍රියාකාරකම් වලදී ඒ සඳහා භාවිතා කරන උපකරණ ජීවානුහරණය කළ ඒවාදැයි පරීක්ෂා කර භාවිතා කිරීමද තවත් ක්‍රමයකි.

එකට එක්ව ඒඩ්ස් වළකාගැනීමට ජාතිය මෙහෙයවීම අද කාලීන අවශ්‍යතාවයකි. අනාරක්ෂිත ලිංගික සබඳතාවලින් වැළකීම මෙයට ඇති පහසුම හා හොඳම විසඳුම වේ. ජීවිතයේදී තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්නේ නම් තමන්ගේ සුවතාව පමණක් නොව තම පවුලේ විශ්වාසය ද බිඳුවක් හෝ පළුදු නොවනු ඇත. මෙම කතිකාවත ලෝක ඒඩ්ස් දිනයට පමණක් සීමා නොවී ඉදිරියට යනවා නම් මරණයට අත වනන තවත් එක් සමාජ පිළිලයකින් ගැලවීමට මාර්ගය විවෘත වනු නිසැකය.

එච්.පී.එන්.එච්.මධුරංගි


Wednesday, May 22, 2019

කුඩාම ජාතික වන උද්‍යානය නමින් විරුදාවලිය ලත් 
හොරගොල්ල ජාතික උද්‍යානය

ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවුවක් වුවද සතුන් හා ශාක ගැන විවිධ පර්යේෂණ කරන්නන් හට මෙම වන උද්‍යානය නුපුරුදු ස්ථානයක් නොවෙයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින මෙම ජාතික උද්‍යානයට ප්‍රවේශ වීමට කොළඹ - නුවර මාර්ගයේ නිට්ටඹුව නගරයෙන් කිලෝමීටරයක් වේයන්ගොඩ දෙසට ගමන් කළ විට හමුවන පින්නගොල්ල හන්දියෙන් වමට හැරී මීටර් 600ක් ගිය විට හොරගොල්ල ජාතික උද්‍යානයේ කාර්යාලයට පැමිණිය හැක. උද්‍යානයට පැමිණෙන්නන්ට ඇති එකම දුෂ්කරතාව වනුයේ පිවිසුම් මඟ පටු වීමයි. එහි පළල අඩි තුන හමාරක් පමණ වන අතර වාහන නවතා තැබීමේ පහසුකම් සීමිත වේ. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලයේ නැගෙනහිර ප්‍රාදේශීය ආදායම් පාලක කොට්ඨාසයට අයත් මෙම ජාතික උද්‍යානය උඩහපත්තුවේ පිහිටි හම්බදළුව ග්‍රාමයෙහි හෙක්ටයාර් 13, 362 ක (අක්කර 33) භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇත.
සාමාන්‍ය ව්‍යවහාරයේ හොර කැලය නමින් හැඳින්වු මෙම අක්කර තිස් ගණනක භූමිය හොරගොල්ල වලව්වට අයිතිව තිබුවකි. හැත්තෑව දශකයේ එය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත. වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ 1973 ඔක්තෝම්බර් මස 5 දින හොරගොල්ල රක්ෂිතය අභය භූමියක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. මෙම ප්‍රදේශයේ වෙසෙන සත්ව හා ශාක විශේෂ දිගු කාලීනව ආරක්ෂා කරගැනීම පිණිසත් අධ්‍යාපන, පර්යේෂණ සහ පරිසරය පිළිබඳව ජනතාවට ආශ්වාදයක් ලබාදීම සඳහාත් වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත යටතේ 2004 ජුලි 28 වන දින මෙම අභය භූමිය ජාතික වන උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
හොරගොල්ල ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ අරමුණු ලෙස,
§  සුවිශේෂ වු ජෛව විවිධත්වය දිගු කාලීනව සංරක්ෂණය කිරීම.
§  නාගරික ජනතාව සඳහා ස්වභාවික පරිසරයෙහි ඇති ආශ්වාදය අත්විඳීමට අවස්ථාව උදා කිරීම.
§  ස්වභාවික පරිසර අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත් කිරීම.
§  වඳ වෙමින් පවතින විල්මුවා සංරක්ෂණ ව්‍යාපෘතියක් (අභිජනන මධ්‍යස්ථානයක් ) පවත්වාගෙන යෑමට කටයුතු කිරීම.
ජෛව විවිධත්වයක් සහිත මනරම් භූමිභාගයක පිහිටා තිබෙන හොරගොල්ල ජාතික උද්‍යානය මුල් කාලයේ හොර කැලෑව නමින් හැඳින්වු අතර එහි හොර ශාකය බහුලව තිබීම ඊට හේතූවිය. උද්‍යානය තුළ සංචාරක නිවහන් හෝ කඳවුරුබිම් කිසිවක් නොමැත. සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක්, ප්‍රවේශපත්‍ර කවුළුවක් හා කුඩා ශ්‍රවණාගාරයක් ඇත. තවද කුඩා කෞතුගාරයක් ද ඇත. හොරගොල්ල ජාතික උද්‍යානය පහතරට තෙත් වනාන්තරයක් වන අතර මෙය ද්විතීයික වනාන්තරයක් ලෙස ද හැඳින්විය හැකිය.
මෙහි පැහැදිලි ස්ථරීභවනයක් දක්නට ලැබේ. එනම් නෙරු , වියන් , පඳුරු හා යටිරෝපණ වශයෙන් පැහැදිලි ස්ථර හතරක් වනාන්තරය තුළ දැකගත හැකිය. මුල් කාලයේ ඒ ස්ථානය මිනිසුන්ගේ ජීවග්‍රහණයට නතුව තිබී ඇති අතර පසුකාලීනව වනාන්තරයක් බවට පත්වී ඇත. මෙහි හිරු එළිය පොළොවට පතිත නොවන අතර හිරු කිරණ ලෙස පතිතවුවත් තනි කෙළින්ම පොළවට පතිත නොවේ.
බස්නාහිර වනජීවී කලාපය තුළ මිනිස් හා වෙනත් උපද්‍රවයන්ගෙන් අවතැන් වන සතුන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස මෙම ස්ථානය හැඳින්විය හැකිය. ඒ අනුව  පක්ෂීන් , උරගයන් , කුඩා ක්ෂිරපායින් සහ විශාල ක්ෂිරපායි කාණ්ඩවලට අයත් සත්ත්වයන් රැසක් මෙහි ගෙනවිත් සුවවන තෙක් ප්‍රතිකාර කොට සුදුසු පරිසරයකට නිදහස් කිරීමද මෙහිදී සිදු කෙරේ. හඳුන් දිවියන් , කොළ දිවියන් වැනි දිවි පවුලට අයත් සතුන් මෙන්ම උකුස්සන් වැනි පක්ෂීන් ද මෙහි ගෙනවිත් ප්‍රතිකාර කොට නිදහස් කරනු ලැබේ. එමෙන්ම වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති විල්මුවා ආරක්ෂා කරගැනීම සඳහාත් එම සතුන් බෝ කිරීම සඳහාත් විශේෂ ව්‍යාපෘතියක් වසර දෙකකට පමණ පෙර සිටම මෙහි ක්‍රියාත්මක වේ.
වැලි මිශ්‍ර මැටි පසක් පවතින මෙම උද්‍යානය පුරාම තෙත් සහිත ස්වභාවයක් පවතියි. පහතරට තෙත් කලාපීය වනාන්තරයක් වන මෙය නිට්ටඹුව නගරයට ආසන්නව පැවතුන ද විශාල උෂ්ණත්ව පරාසයක් වර්ෂය පුරා දැකගත හැකි අතර ප්‍රධාන වශයෙන් නිරිත දිග මෝසම් වැසි ලබන උද්‍යානයට වර්ෂය පුරාම විටින් විට වැසි ලැබේ. උද්‍යානය තුළ ඇති තෘණ භූමි ප්‍රමාණය හෙක්ටයාර 1.5 ක් වන අතර එය උද්‍යානය තුළ පිහිටි එකම තෘණ භූමියද වේ. මේ හැරුණු කොට විවෘත ස්ථානයකට ඇත්තේ හොරගොල්ල වැව ලෙස හැඳින්වෙන ජලාශයයි. අතීතයේ පටන් ප්‍රදේශයේ කුඹුරු ඉඩම් සඳහා ජලය ලබාගන්නා කුඩා වැවක් වන මෙය හොරගොල්ල උද්‍යානයේ වනවදුලෙන් මෙන්ම හොරගොල්ල වත්ත වනවදුලෙන් ද පෝෂණය ලබයි. මෙහි ප්‍රමාණය හෙක්ටයාර් 1.2කි.  
මෙම උද්‍යානය ආශ්‍රිතව තෙත් සදාහරිත වනාන්තර වලට අයත් ශාක ප්‍රජාවන් දැකිය හැකිය.
හොර (Dipterocarpus zeylanicus) , කැකුණ (Canorium zeylanicus) , ගොඩපර (Dillenia retusa) , දියපර (Wormia triquetra) , කිතුල් (Caryota urens) , බට (Ochlandra stridula) , නැදුන් (Pericopsis mooniana) , ඇටබ (Mangifera zeylanicus) , බෝ (Ficus riliglosa) , රුක් (Horstieldia iryaghedhi) , අන්කෙන්ද (Acronichia pedunculata) , මිල්ල (Vitex altissima) , මුණමල් (Mimusops elengi) , දෙල් (Artocarpus nobilis) , වෙලං (Pterospermus canescens) වැනි ශාක උද්‍යානයේ බහුලව දක්නට ලැබේ.

උද්‍යානයේ ප්‍රධාන වැල් විශේෂ ලෙස හිඹුටු වැල් (Salacia reticulata) , කොරස වැල් (Tetracera sarmentosa) , මා වේවැල් (Calamus zeylanicus) , පෝට වැල් (Pothos scandens) සහ පුස් වැල් (Entada pusaetha) දැකිය හැකිය.
මීට අමතරව තෘණ විශේෂ ද රැසක් ඇත. ඒ අතර නිල්මොනරැස්ස (Uiriculariareticulata) , කඳුලැස්ස (Dreseraindica) , වටැස්ස (Droseraburmanni) ඇත.
මෙම උද්‍යානයේ වන සත්තු අතර හඳුන් දිවියා (Felis viverrinas) , කොළ දිවියා (Felis rubiginosa phillipsi) , මීමින්නා (Tragulus meminna) , නරියා (Canis aureus lanka) සහ දඬුලේනා (Ratufa macroura) දක්නට ඇත.
උද්‍යානය ආශ්‍රිතව පක්ෂි විශේෂ ද බහුලව හමුවේ. ඒ අතර අළු කෑදැත්තා (Ocyeerosgingalensis) , ශ්‍රී ලංකා ගිරා මලිත්තා (Loriculusberyllinus) , හිස කළු කොණ්ඩයා (Pyenonotusmelanicterus) , ශ්‍රී ලංකා අළු ගිරවා (Psittaculacalthropae) , ශ්‍රී ලංකා මුදුන්බොර දෙමලිච්චා (Pellorneumfuscocapillum) , ආසියානු කොහා (Eudynamysscolopacea) , ඇටි කුකුළා (Centropussinensis) දැකිය හැකිය.
එමෙන්ම මෙහි ජලාශයේ මගුරා (Clariasbrachysoma) , කනයා (Labeodussumieri) , කොට පෙතියා (Puntiusfilamentosus) සහ අහිරාවා (Lepidocephalichthysthermalis) යන මත්ස්‍ය විශේෂ ද සිටිති.
සර්ප විශේෂ අතර පිඹුරා (Python molurus molurus) , පොළඟා (Acronichia pedunculutc) තිත් පොළඟා (Daboiarusselii) , ගැරඬියා (Coluber mucosms maximus) , පොළොන් තෙලිස්සා (Hypnale hypnale) , දෙපත් නයා (Cylindrophis maculatus) , තෙල්මල් කරවලා (Chrysopeleaornata) , ඇහැටුල්ලා (Ahaetullanasutus) , මුදු කරවලා (Bungarusceylonicus) සහ නයා (Najanaja) වෙති.
තවද උරග විශේෂ අතරින් කබරයා (Varanus monitor kabaragoya) , ගල් ඉබ්බා (Melanochelys trijuga) , කිරි ඉබ්බා (Lissemys punctate ceylonensis) මෙහි සිටියි.
හොරගොල්ල වැව තුළ ජලජ ශාක බහුලව වැවී තිබේ. සැල්වීනියා හා හයිඩ්‍රිල්ලා වැනි ආක්‍රමණික ශාකද ඕලු හා නෙළුම් ද ඒ අතර ප්‍රධාන වේ. කුඩා වනෝද්‍යානයක් වුවත් ආක්‍රමණික ශාක වැඩි ප්‍රමාණයක් මෙහි දක්නට ඇති අතර දියපර හා බු දෙල් ප්‍රධාන තැනක් ගනියි. සමස්තයක් ලෙස ගත්කල හොරගොල්ල ජාතික උද්‍යානය යනු හොර ශාකය 95%ක් පමණම ප්‍රමුඛ ශාකය වන වනගොමුවකි.
මෙම උද්‍යානය නව උද්‍යානයක් බැවින් දියුණු කළ යුතු පහසුකම් රැසකි. අධ්‍යයන කටයුතු හා සංචාරක කටයුතු සඳහා අවශ්‍ය පුස්තකාල , විද්‍යාගාර සහ කෞතුකාගාර පහසුකම් භෞතිකමය සම්පත් ලෙස මීට ලැබීම අවශ්‍යතාවකි. තෙත් කලාපීය වනාන්තර ආදර්ශයක් ලෙස පවත්වාගෙන යෑමේ වැඩි අවශ්‍යතාවක් පවතින බැවින් සංචාරක කටයුතු වලට වඩා සංරක්ෂණය සඳහා අවධානය යොමු කිරීමත් ඊට අදාළ පහසුකම් සඳහාත් ප්‍රමුඛතාවය දිය යුතුය. සත්ව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසත් බුලත්හපයා සහ තල් කොස්සා යන මිරිදිය ආවේණික මසුන් දෙදෙනාගේ අභිජනන මධ්‍යස්ථානයක් ලෙස වැඩි දියුණු කිරීමට ලැබී ඇති යෝජනාත් වැදගත් කොට සැලකිය හැකිය. ඒ හැරෙන්නට ආක්‍රමණික ශාක ඉවත් කිරීමට හෝ පාලනයට ගෙන ඇති පියවර කඩිනම් කිරීම වැදගත්ය. ඇතැම් තැන්වල බු දෙල් ශාකය සියයට සියයකින්ම හොර ශාකය පරදවා ප්‍රමුඛ වන්නට දරන උත්සහාය සංරක්ෂණ බලධාරීන්ගේ අවධානයට යොමුවිය යුතුය.
හොරගොල්ල ජාතික උද්‍යානය වනසතුන් හා වෘක්ෂලතාවන් පිළිබඳව පර්යේෂණ කරන්නන්ට පමණක්ම සීමා වුවක් නොවෙයි. නිස්කලංක පරිසරයක සුවයක් මෙහි පැමිණෙන්නෙකුට විඳිය හැක. පරිසරයේ නිහැඬියාව ආරක්ෂා කරගන්නා තරමට වන සතුන් හොඳින් දැකබලා ගැනීමට ඔබට හැකිවනු ඇත. එමෙන්ම ගෙන ආ කිසිවක් වනයේ තබා නොයාමත් මතකයන් පමණක් රැගෙන යාමත් තුළින් මේ සුන්දර පරිසරය මතු පරපුරටත් නොකිලිටිව දැකබලා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

එච්.පී.එන්.එච්.මධුරංගි