ශ්‍රී
ලංකාවේ වර්තමාන සෞඛ්‍ය ගැටලු
වර්තමානය වන විට ශ්‍රී ලංකාව සෞඛ්‍ය ගැටලු රාශියකට මුහුණ දෙමින් සිටියි. එම ගැටලු වලට සුදුසු විසඳුම් සොයා බලමින් ඒවා යම්තාක් දුරකට අවම කරගැනීමේ ක්‍රියාවලියක නිරත වීමට පවතින රජය උත්සහා දරයි. ශ්‍රී ලංකාවේ වර්තමාන සෞඛ්‍ය ගැටලු කිහිපයක් විස්තරාත්මකව පහත පරිදි දැක්විය හැකිය.
.
ඩෙංගු
ඩෙංගු
වෛරසය දිවයිනේ බොහෝ ප්‍රදේශයන් වල විශේෂයෙන්ම වඩාත් නාගරීකරණය වු හා ජනාකීර්ණ ප්‍රදේශයන්
වල වසර මුළුල්ලේම පැතිරයාමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරයි. වර්ෂා කාලයට විශේෂයෙන්
කතාබහට ලක්වන වර්ෂාව නිමවූ පසු මිනිසුන්ට අමතක වී යන ඉතාමත් භයානක රෝග තත්ත්වයක්
ලෙස මෙය හැඳින්විය හැකිය. වර්ෂාවත් සමග ඩෙංගු ව්‍යාප්තිය ඉතා සීඝ්‍රයෙන් ඉහළ යයි. සාමාන්‍යයෙන්
වසරකට 5000 සිට 10000ක් පමණ මෙම
රෝග තත්ත්වය වාර්තා වන අතර සාමාන්‍යයෙන් පසුගිය අවුරුදු වල වසරකට රෝගීන් 50ක් පමණ
මිය යන නමුත් මේ වන විට මෙම තත්ත්වය ඉතා පහළ අගයකට අඩුවී ඇත. ඩෙංගු රක්තපාත නම් උණ
තත්ත්වය මෙම මරණවලට හේතු වී ඇත.
ඩෙංගු රෝගය ඊඩිස් මදුරුවා රෝග වාහකයා කරගත්
රෝගයක් වන අතර මදුරුවා සුදුපාට ලප සහිත මදුරු විශේෂයකි. ඊඩිස් ඊජිප්ටයි ඇල්බොපික්ටස්
මගින් මෙම රෝගය බෝවේ. මෙම ගැහැණු මදුරුවෙකු ඩෙංගු ආසාදිත පුද්ගලයකු දෂ්ට කර රුධිරය
උරා බීමෙන් අනතුරුව එම රුධිරය සමඟින් ඩෙංගු වෛරසය එම මදුරුවාට ඇතුළු වේ. පසුව එම
ගැහැණු මදුරුවා වෙනත් පුද්ගලයෙකුට දෂ්ඨ කළ විට ඩෙංගු වෛරසය ද එම පුද්ගලයාගේ සිරුරට
ඇතුළු වේ. මෙසේ එම වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිර යා හැකිය .ඩෙංගු මදුරුවන්
බොහෝ විට දෂ්ඨ කරනුයේ දිවා කාලයේදී පමණක් වුවද මේ වන විට ඔවුන් දවස පුරාම සක්‍රීය
බව වාර්තා වේ.
වෛරසය ශරීරගතවූවන්ගෙන් බහුතරයක් රෝග ලක්ෂණ
පෙන්නුම් නොකරන අතර සාමාන්‍ය වෛරස් උණක රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. සුළු පිරිසක් පමණ
රක්තපාත උණ නැතහොත් ඩෙංගු කම්පන තත්වයට පත්විය හැක. ඩෙංගු වැළඳුනු රෝගියෙකු තුලින්
රෝග ලක්ෂණ බාහිරට පෙන්නුම් කිරීමට දින 3 සිට 14ක් පමණ
කාලයක් ගත විය හැකි නමුත් බොහෝ විට ඩෙංගු
දින 3 සිට 7ක් පමණ
ගතවීමෙන් අනතුරුව රෝග ලක්ෂණ ඇති වේ. රෝග ලක්ෂණ අනෙක් උණ රෝග වලට සමාන බැවින් ඩෙංගු
රෝගය වෙනත් උණ රෝග වලින් වෙන් කර හදුනා ගැනීම මුල් දින 2 තුළ
තරමක් අපහසු වේ. ඩෙංගු රෝගය ඩෙංගු උණ, ඩෙංගු රක්තපාත උණ හෝ ඩෙංගු කම්පන ලක්ෂණ
විවිධ මට්ටම් වලින් හටගනී. එම ලක්ෂණ පහත පරිදි වේ.
·
තද හිසේ කැක්කුම
·
ඇස් යට වේදනාව
·
හන්දි වේදනාව
·
ආහාර අරුචිය
·
මාංශ පේශිවල කැක්කුම
·
වමනය
·
සමේ ඇතිවන රතු පැහැති
පැල්ලම්
·
දත්මුල් වැනි ස්ථාන
වලින් ඇතිවන ලේ වහනය
ප්‍රධාන
වශයෙන් රුධිර පරීක්ෂණ මගින් ඩෙංගු හඳුනාගැනීම සිදුවේ. FBC (Full Blood Count) යන
පරීක්ෂණය මෙහිදී ප්‍රමුඛ වන අතර ඊට අමතරව ප්‍රතිදේහ සඳහා ද යොමු විය හැකිය. මීට
අමතරව ඩෙංගු රක්තපාත තත්ත්වයේ දී අතිධ්වනි තරංග පරීක්ෂා වැනි පරීක්ෂණවලට ද යොමු
වීමට සිදුවේ. මෙය බොහෝ විට ගැටලුවක් නොමැතිව සුව වන බැවින් මුලික වශයෙන් රෝගියා පරීක්ෂා
කිරීම සිදුවේ. ඒ සඳහා රෝහල් ගත විය යුතුය. තවද රෝහල් ගත වීමෙන් පසු දියර වර්ග
පාලනයකින් යුතුව ලබා දීම සිදුවේ. රුධිර පට්ටිකා වර්ධනය වන පානයන් පානය කිරීම වඩාත්
යෝග්‍ය වේ.
2018 වර්ෂයේ
ගත වු කාල සීමාව තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 13000 පමණ වාර්තා වී ඇතිි අතර
එය 2017 වර්ෂයේ එම
කාලය හා සැසඳීමේදී 50%ක අඩුවීමක් දක්නට ලැබේ. මෙම තත්වය තවදුරටත්
අවම කරගැනීම සඳහා බස්නාහිර පළාත තුළ හා මඩකලපුව දිස්ත්‍රික්කය තුළ හඳුනාගත් වැඩි අවදානම්
ප්‍රදේශවල ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සෞඛ්‍ය කණ්ඩායම් 450ක ගේ පමණ
සහභාගීත්වයෙන් විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වේ.
නිවාස,
පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්තශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන වැනි ඕනෑම පරිශ්‍රයක
ඩෙංගු මදුරුවන් බෝවීමට අවධානමක් ඇති හෙයින් අවම වශයෙන් සතියකට විනාඩි 30ක් මේ පිළිබඳව විපරම් කොට මදුරුවන් බෝවිය හැකි ස්ථාන
ඉවත් කර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාව වෙත අවධාරණය කරයි.
. වකුගඩු රෝගය
වර්තමානයේ
පවතින බරපතල සෞඛ්‍යමය ගැටලුවක් බවට පත් වී ඇති වකුගඩු රෝගය මේ වන විට උතුරු මැද
පළාතේ ප්‍රබලම සෞඛ්‍යමය ගැටලුව බවට පත්ව වී ඇත. ගිරාදුරුකෝට්ටේ, කුරුණෑගල, ඇඹිලිපිටිය, හම්බන්තොට
යන ප්‍රදේශවලින් රෝගීන් විශාල වශයෙන් හමුවීම තුළින් මෙම රෝගය ලංකාවේ අනෙකුත් පළාත්
වලද පැතිරී පවතින බව පැහැදිලි වේ.
වකුගඩු රෝගය
සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයකට පෙර මුල් අවස්ථාවේදීම රෝගය හඳුනාගැනීම සුදුසුකම් ලත්
වෛද්‍යවරයෙකුට ඉතා පහසු කාරණයකි. එහෙයින් මෙම රෝගය පැතිරෙන ප්‍රදේශ හා ගොවිතැන්
බහුලව සිදු කරන ප්‍රදේශවල නිරෝගී පුද්ගලයන් පරීක්ෂාවට ලක් කිරීම ඉතා වැදගත් වේ. මන්දයත්
රෝගය සාමාන්‍යයෙන් හඳුනා ගැනීමට හැකි වන්නේ රෝගය ඇතිවී තුන්වන අවධිය පසු වුවාට
පසුව එනම් රෝගීයාගේ මුත්‍ර පෙරීම අවම වීම තුළිනි. වකුගඩු රෝගයෙහි ලක්ෂණ ලෙස වමනය,
හිසරදය, අධික මුත්‍ර පහවීම, අධික තෙහෙට්ටුව, හිසරදය, ඇගේ දුර්වලකම දැක්විය හැකිය. රෝගයෙහි
තුන්වන අවධියේදී රෝගීයාගේ බාහිරව අත්පා ඉදිමීම, අධිරුධිර පීඩනය, ඇනීමියා තත්ත්වය
ඇති වීම දක්නට ලැබේ. මෙහිදී හෘදයේ හා වකුගඩුවල ක්‍රියාකාරිත්වය අවම වීම තවත් රෝග
ලක්ෂණයකි.
තුන්වන
අවධියේ සිට රෝගීයාගේ අවසන් මොහොත දක්වා අවධි දෙකක් පසු කළ යුතුය. 4 වන අවධියේ රුධිර
පාරවිලයනය ද අවසන් අවස්ථාවේදී වකුගඩු බද්ධ කිරීමට ද සිදුවේ. මේ නිසා රෝගීයාට හා
පවුල්වල පුද්ගලයන්ට අධික වැය බරක් මේ සඳහා දරන්නට සිදුවේ. වැඩි වශයෙන් මෙම රෝගී
තත්ත්වයට ගොදුරු වී ඇත්තේ දරිද්‍රතාවයෙන් පෙලෙන ගොවිතැනෙහි යෙදී සිටින්නන් වීම
නිසා බොහෝ විට නිසි ප්‍රතිකාර ලබා ගැනීමට ඔවුන්ට හැකියාව නොලැබේ. මේ නිසා මෙය බරපතල
සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වීමට හේතුවක් වී ඇත.
කැඩ්මියම්,
ආසනික්, රසදිය වැනි බැර ලෝහ මෙම රෝගයට හේතුකාරක වී ඇත. බෝග වගාවේදී අධික වශයෙන්
කෘමිනාශක භාවිතය හේතුකොටගෙන එම කෘමිනාශකවල ඇති අධිසාන්ද්‍රීය බැර ලෝහ පසට එක්වේ.
මෙම පසෙහි කරන වගාවන්ට මෙම ද්‍රව්‍ය ඇතුළුවීමත් මිනිසාගේ සිරුරට එම ආහාර මගින් විෂ
රසායන ඇතුල්වීමත් සිදුවේ.
එපමණක්
නොව මෙම රෝගය පැතිරී යන ප්‍රදේශවල ජලයේ ආස්‍රැතභාවය හේතුකොටගෙන සිරුරට අහිතකර
කැල්සියම් ආසනේට් තත්වයක් ඇතිවී එය මෙම බැර ලෝහ හා එක්වී වකුගඩු අක්‍රිය කරන
තත්වයට පත්වේ. එසේ නම් ලංකාව පුරා කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කරන නමුත් එම ප්‍රදේශවල
පමණක් වකුගඩු රෝගය ඇති වෙන්නේ ඇයි දැයි
ගැටලුවක් පැන නගී. සෑම කෙනෙක්ම ආහාරයට ගන්නේ විෂ රසායන ද්‍රව්‍ය ඇතුල් වු
ආහාර වුවද එහි අඩංගු බැර ලෝහ හා ක්‍රියාකර වකුගඩු අක්‍රිය කරන ආස්‍රැත ජලය අනෙක්
ප්‍රදේශවල නොමැති වීමයි. මෙම රෝගය පැතිරී යාම වැළැක්වීම සඳහා පළමුව කළ යුත්තේ
රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අමතරව නිරෝගී පුද්ගලයන් මේ පිළිබඳව දැනුවත් කිරීමයි. මෙහිදී
රෝගය වැළඳෙන කණ්ඩායම පිළිබඳව කරන ලද සමීක්ෂණ වලදී අවුරුදු 20ට අඩු රෝගීන් සංඛ්‍යාව ඉතා
අඩුම මට්ටමක පවතින අතර වැඩිපුරම රෝගය වැළඳී ඇත්තේ අවුරුදු 35-45ත් අතර පුද්ගලයින්ට
බව හඳුනාගෙන ඇත. එහෙයින් අවුරුදු 20 ට අඩු අය දැනුවත් කිරීම
තුළින් අනාගතයේදී මෙම රෝගය ව්‍යාප්ත වීම
වළක්වා ගැනීමට හැකිවනු ඇත.
කෘමිනාශක
භාවිතයේදී නිවැරදි ක්‍රමවේදයන් භාවිතා නොකිරීම, කෘමිනාශක වැඩිපුර වැව්වලට එකතු වීම
තුළින් එම වැව් ජලය ජනතාව පානය කිරීම මෙම රෝගය පැතිරීමට එක් හේතුවක් ලෙස සැලකිය
හැකිය. මේ නිසා පිරිසිදු ජලය භාවිත කිරීම ඉතා වැදගත් වේ. එමෙන්ම රෝගය ව්‍යාප්ත වන ප්‍රදේශවලට මෙම බැර ලෝහ වලින් තොර ජලය ලබාදීම තුළින්
මෙම රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට විශාල රුකුලක් වනු ඇත.
බොහෝ විට
වගාවන් වලදී වල් මර්දනය, කෘමි පාලනය, නයිට්‍රජන් ඌනතාවය හා අධි අස්වැන්නක් සඳහා
කෘෂි රසායන භාවිතය අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්වී ඇත. නමුත් කාබනික පොහොර හා පැරණි
ක්‍රම භාවිත කරමින් ඉහත සාධක සියල්ල සපුරාලමින් වී හා වෙනත් බෝග වර්ග වගා කිරීමට
බොහෝ ගොවීන් අද යොමුවී ඇති අතර එයින් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව පෙනේ. සුවඳැල්
පච්චපෙරුමාල් වැනි වී වර්ග කාබනික පොහොර භාවිතා කර වගා කිරීමෙන් කෙටි කාලයකින්
අසන්න ලබාගැනීමට හැකි වී ඇත.
සාමාන්‍යයෙන්
සිරුරට අවශ්‍ය වන ආසනික් ප්‍රමාණය ලීටරයකට මයික්‍රො ග්‍රෑම් 10 කි.
නමුත් අද වෙළඳපොලේ ඇති කෘෂි රසායන ද්‍රව්‍යවල ලීටරයක මයික්‍රො ග්‍රෑම් 200 -1500 දක්වා
පරාසයක ආසනික් අඩංගුය. මෙම රසායන ද්‍රව්‍ය උපයෝගී කරගෙන වගා කිරීම තුළ සහල් කිලෝ
ග්‍රෑම් එකකට මයික්‍රො ග්‍රෑම් 200-1000 දක්වා ඇතුල් වේ. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ
නියමයන්ට අනුව පැවතිය යුත්තේ කිලෝග්‍රෑම් එකකට මයික්‍රො ග්‍රෑම් 150ක් පමණි.
ක්ෂණික
ආහාරවල ඇති E කාණ්ඩයට
අයත් රසකාරක වකුගඩු ආශ්‍රිත රෝග හා පිළිකා ඇතිකිරීමට හේතුවන හෙයින් එම ආහාර
ගැනීමෙන් වැළකී සිටීම තුළින් මෙම රෝග හට ගැනීමේ ඉඩකඩ අවම කර ගැනීමට හැකියාව ලැබෙනු
ඇත. ඒ අනුව වකුගඩු රෝගය අප රටින් තුරන් කිරීමට අප සැවොම එක්ව කටයුතු කළ යුතුය. ඒ
සඳහා රෝගය පැතිර යන ප්‍රදේශවලට පිරිසුදු ජලය ලබාදීමට පියවර ගැනීම, විෂ රසායන ද්‍රව්‍ය
වලින් තොර ආහාර බෝග වගා කිරීමට අවශ්‍ය සහාය ලබාදීම රජයේ වගකීම වන අතර මේ
සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම අපගේ යුතුකම වන්නේය.
. ඉන්ෆ්ලුවෙන්සා
ඉන්ෆ්ලුවෙන්සා
යනු වෛරසයක් මගින් බෝවන රෝගයකි. එය සාමාන්‍ය කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව,
උණට බෙහෙවින් සමාන වන අතර ඉන්ෆ්ලුවෙන්සා වෛරසය විවිධ ප්‍රභේද ඔස්සේ ශ්වසන පද්ධතිය
ආසාදනය කරයි. වෛරසය ශරීරගත වන්නේ මිනිසාගෙන් මිනිසාටය. රෝගියකු කහින විට හෝ
කිවිසුම් අරින විට ඔහුගේ කෙළ, සෙම හෝ සොටු බිඳිති මඟින් නිරෝගී පුද්ගලයන්ගේ සිරුරට
වෛරසය ඇතුළු වේ. රෝගයෙහි පෝෂණ සමය වෛරසය ශරීරයට ඇතුළු වී දින එකේ සිට දින හත දක්වා
වේ. රෝග ලක්ෂණ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා උණ රෝග ලක්ෂණවලට සමාන වුවත් මෙම වෛරසය
ආසාදනය වන ආකාරය අනුව රෝග ලක්ෂණ අඩු වැඩි වශයෙන් පෙන්වීමට හැකිය. මෙම රෝගයේ දී එය
ආසාදනය වීම ප්‍රධාන වශයෙන් ගෙලෙන් ඉහළ පෙදෙස එනම් උගුර, නාසය, සුසුම්නාව හෝ
ස්වරාලය ආශ්‍රිතව සිදුවූ විට සෙම, සොටු ගැලීම, උගුරේ ආසාදන, කැස්ස, උණ වැනි රෝග
ලක්ෂණ පෙන්නුම් කරයි. මෙම අවස්ථාව එතරම් බරපතල ද නොවේ. එහෙත් බෙල්ලෙන් පහළ එනම්
පෙනහලු ආසාදනය වීමක් මගින් නිව්මෝනියා තත්ත්වයට පවා පත්විය හැකි අතර එම නිසා එවැනි
රෝගීන් මරණයට පත් වීම පවා සිදුවිය හැකිය.
ඉන්ෆ්ලුවෙන්සා
රෝග ලක්ෂණ මතු වු වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමු නොවී සුළු සුළු ප්‍රතිකාර
යෙදීම ද රෝගය උත්සන්න වීමට බලපාන කරුණු අතර වේ. නිවසේ පුද්ගලයකුට හෝ තමන්ට ඉන්ෆ්ලුවෙන්සා
වැළඳුනහොත් නිවසේ කාමරයට වී හුදකලාව විවේක ගැනීම වඩා සුදුසුය. විවේක ගන්නා අතරතුර
නිසි ප්‍රතිකාර වලට යොමුවිය යුතුය. රෝගී වු පුද්ගලයා හුදෙකලාව විවේකීව සිටීමෙන්
රෝගය සුව වීමට පහසු වෙනවා සේම රෝගය අන් අයට පැතිරීම ද වළක්වා ගත හැකිය. රෝගය ඇති වු
විට හුස්ම ගැනීමේ වේගය වැඩිවන්නේ නම් හෝ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වන්නේ නම් වහාම
රෝහල්ගත වීම හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම ඉතා ඉක්මනින් කළ යුතුය. ගර්භනී
මාතාවන් සහ කුඩා දරුවන් අත්‍යවශ්‍යම කාරණයකට හැරුණු කොට මහජනයා වැඩිපුර ගැවසෙන
ස්ථානයන්ට හෝ පොදු වාහනවල නොයා සිටීම රෝගය වැළඳීම වළක්වා ගත හැකි පහසු ක්‍රමයකි.
වෛරසයක් ආසාදිත වූවන් නිතරම දෙඅත් පිරිසුදුව තබා ගත යුතු අතර භාවිතා කරන ලේන්සු
ආදිය නිතර පිරිසුදුව තබා ගැනීමට වගබලා ගත යුතුය. කඩදාසි භාවිතයෙන් පසු ආරක්ෂිතව
බැහැර කිරීමද වැදගත්ය.
වර්තමානය
වන විට ශ්‍රී ලංකාවේ ද ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිර යමින් පවතී. විශේෂයෙන්ම දකුණු
පළාතේ ඉන්ෆ්ලුවෙන්සාවේ වර්ගයක් වන AH1N1 නමැති වෛරසය බහුලව පැතිරී ඇත. මේ වන
විට දකුණු පළාතේ දරුවන් හා වැඩිහිටියන් විශාල ප්‍රමාණයක් ඉන්ෆ්ලුවෙන්සා විසින්
ගොදුරු කරගෙන ඇත. මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු දකුණු පළාතේ රෝහල්වල වසංගත
තත්ත්වය පාලනය වී තිබුනද ගම්පහ මහ රෝහලේ සහ මහනුවර ශික්ෂණ රෝහලේ ද කොළඹ රිජ්වේ
ආර්යා ළමා රෝහලේ ද සැලකිය යුතු තරමේ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන බව කියැවේ. ඒ අනුව
පෙනී යන්නේ අවදානම තවමත් පහව ගොස් නැති බවයි.
. පියයුරු පිළිකා
වර්තමානය
වන විට ලංකාවේ වසරකට පිළිකා රෝගයට ගොදුරු වන සංඛ්‍යාව 17000ක් පමණ
වන අතර ඉන් 2500ක්ම පියයුරු
පිළිකා රෝගීන් වේ. අද වන විට ලංකාවේ කාන්තාවන් අතර බහුලවම වාර්තා වන පිළිකාව වනුයේ
පියයුරු පිළිකාවයි. එමෙන්ම පසුගිය වසර 25ක කාලය
තුළ අලුතෙන් හඳුනාගත් පියයුරු පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වැඩි වී
තිබේ. ජානවල සිදුවන කිසියම් අසාමාන්‍ය තත්ත්වයක් හේතුකොටගෙන කිසිදු පාලනයකින් තොරව
අසාමාන්‍ය ලෙස සිදුවන සෛල වර්ධනයක් හෙවත් සෛලවල බෙදී යාම හේතුවෙන් පිළිකා හටගනී.
මෙයින් සමහර පිළිකා උපතින්ම හෙවත් ප්‍රවේණිගතව හා පාරිසරික හේතු අනුව හටගනී. පියයුරු
පිළිකාවක් හට ගැනීම සඳහා ප්‍රවේණිගත තත්ත්වය හේතු වන්නේ සියයට 5%ත් 10% අතර ප්‍රමාණයකි.
පියයුරු පිළිකාව
මුල්ම අවස්ථාවේ හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් සම්පූර්ණයෙන්ම පියයුරම ඉවත්
නොකර වඩාත් සරල ශල්‍යකර්ම ක්‍රම මගින් පිළිකා පමණක් ඉවත් කර වඩාත් ගුණාත්මක
ජීවිතයක් ගත කිරීමේ හැකියාව තිබේ. නමුත් අද බොහෝ දෙනෙක් ප්‍රතිකාර සඳහා යොමු වන්නේ
රෝගය උත්සන්න වු විටය. එමෙන්ම යම් සැක සහිත බවක් ඇති වුවහොත් පිළිකාවක්ද යන බිය
නිසාම බොහෝ දෙනෙකු මේ පරීක්ෂාව කිරීමට මැලිකමක් දක්වයි. ඒ හේතුවෙන් පිළිකා රෝගී
තත්ත්වය උත්සන්නම අවස්ථාව දක්වා පැතිර ගිය අවස්ථාවේදී ප්‍රතිකාර සඳහා යොමුවේ. එවිට
පිළිකාව අනිකුත් ඉන්ද්‍රියන් කරාද පැතිරී ගොස් තිබිය හැකිය.
පියයුරු
පිළිකාවක් සෑදීමේ අවදානමක් පවතින සාධක ලෙස කාන්තාවක් වීම, වයස්ගතවීම, ලේ ඥාතීයෙකු
වීම හෝ ඥාතීන් කීපදෙනෙකුට පියයුරු හෝ ඩිම්බ පිළිකා වැළඳී තිබීම, ඊස්ට්‍රජන්
හෝමෝනයට දිගු කලක් නිරාවරණය වීම හෙවත් වයස අවුරුදු 12ට පෙර
වැඩිවියට පත්වීම, වයස අවුරුදු 55 පසුවන තුරු ආර්තවහරණය නතර නොවීම, දරුවන්
නොමැති කාන්තාවක් වීම හා ජානමය තත්ත්වයන් උද්ගත වීම හැඳින්විය හැකිය.
පියයුරු
පිළිකාවල රෝග ලක්ෂණ :-
- පියයුරුවල ගැටිත්තක් තිබීම.
- පියයුරුවල මෑතකදී ඇතිවුනු හැඩයේ හෝ පෙනුමේ වෙනසක් පෙනීම.
- පියයුරුවල වල ගැසීමක් හටගැනීම.
- පියයුරුවල මෑතකදී හටගත් අසමමිතික හැඩයක් තිබීම.
- සම මතුපිට දදයක් හෝ තුවාලයක පැහැයේ වෙනසක් තිබීම.
- තන පුඩුවෙන් කිරි නොවන වෙනත් ශ්‍රාවයක් වෑස්සීම.
- පියයුරුවල නිතරම පවතින අසාමාන්‍ය වේදනාව.
මෙම රෝග ලක්ෂණ
පිළිකාවක් නොවන අවස්ථාවකදී වුවද තිබිය හැකිය. එහෙත් මෙවැනි ලක්ෂණ පහළ වී ඇත්නම්
පියයුරු පිළිකාවක් නොවන බවට තහවුරු කරගැනීම සඳහා රජයේ රෝහලකට ගොස් වෛද්‍ය උපදෙස්
හා ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.
පියයුරු අසාමාන්‍යතාවන්
හඳුනාගැනීමට නම් සෑම කාන්තාවක්ම තමාගේ පියයුරුවල ප්‍රමාණය හා ස්වභාවය කුමක්දැයි
හඳුනාගත යුතුය. මේ සඳහා ස්වයං පියයුරු පරීක්ෂාව වැදගත් වේ. තමාට පියයුරු පිළිකාවක
ලක්ෂණ තිබේදැයි බලා ගැනීම සඳහා දැනුවත් වීමක් හා අවධානයෙන් සිටීමත් වැදගත් වේ. වයස
අවුරුදු 20 ට වැඩි
සෑම කාන්තාවක්ම මසකට වරක් හෝ තමන්ගේ පියයුරු පරීක්ෂා කරගැනීම කළ යුතුය. මෙහිදී කණ්ණාඩියක්
ඉදිරියට ගොස් පියයුරු නිරාවරණය කර ඉහත සඳහන් කළ වෙනස්කම් තිබේ දැයි නිරීක්ෂණය කළ
යුතු අතර පියයුරු සමේ වෙනසක් තිබේද? ගැටිති ස්වභාවයක් තිබේද? යන්න
අතින් ස්පර්ශ කර හඳුනාගැනීමට උත්සාහ කළ යුතුය.
එසේ සැක සහිත
ලක්ෂණ තිබේ නම් ළඟම තිබෙන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය මගින් පවත්වාගෙන යන
සුවනාරි සායන වලට, රජයේ රෝහල්වල පවත්වාගෙන යන සුව දිවි සායනවලට සහභාගි වී උපදෙස්
ලබාගෙන ඒ අනුව ප්‍රතිකාර ගැනීම කළ යුතුය.
ශ්‍රී
ලංකාවේ වර්තමානය වන විට පුරුෂයින්ද පියයුරු පිළිකාවලට ගොදුරු වෙමින් පවතී. නමුත්
බහුතරයක් පුරුෂයන් ඒ සම්බන්ධයෙන් දැනුවත් නොමැත. පියයුරු පිළිකාවට ගොදුරු වන කාන්තාවන්
4000ත් 5000ත් අතර
සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව වාර්තා වන අතර පුරුෂයන් වාර්තා වන්නේ පනස්
දෙනකු පමණ අඩු ප්‍රමාණයකි. පුරුෂයන්ට පියයුරු පිළිකා ඇතිවීමට හේතු කිහිපයක් බලපෑ
හැකි බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති. ඒවා නම් ඊස්ට්‍රජන් හෝමෝන වැඩිවීම, ජානමය
හේතු, අක්මාව ආශ්‍රිත රෝග, අධික රුධිර පීඩනය සඳහා ලබාදෙන ඖෂධ, ඇතැම් නිදි පෙති
වර්ග හා තරබාරුව යන ඒවා වේ.
පුරුෂ
පියයුරු පිළිකාව ශ්‍රී ලංකාවේ බහුලව දැකිය නොහැකි නිසා ඒ පිළිබඳ විමසිලිමත් වීම ද අඩුය.
නමුත් යම් පුරුෂයකුගේ පියයුරු සාමාන්‍යයෙන් පුරුෂයකුගේ තිබිය යුතු ප්‍රමාණයට වඩා
විශාල නම් ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.
. ඒඩ්ස්
ඒඩ්ස් යනු
මාරාන්තික වුවද සමාජයෙන් වසන් වීමට වෙර දරන සමාජය තුළ පිළිලයක් මෙන් කාටත් හොරාම
වර්ධනය වන්නකි. ඒඩ්ස් රෝගීයෙක් ලොව මුලින්ම හඳුනාගත්තේ 1981 වසරේදී
ලොස්ඇන්ජලීස් රෝහලෙනි. ඒඩ්ස් රෝගය අද වන විට ලෝකය පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින්
පවතින රෝගයක් ලෙස හඳුන්වා දීමට හැකිය. ආසන්න වශයෙන් ලෝක ජනගහනයෙන් මිලියන 35.5 එච්.අයි.වී
වෛරසය ආසාදනය වීමක් සහිතව ජීවත් වේ. එය ලෝක ජනගහනයෙන් ඉතා විශාල ප්‍රතිශතයක් වන අතර
සෑම වසරකදීම ලොව පුරා මිලියන දෙකක ජනතාව ඒඩ්ස් වලින් මිය යති. ආසන්න වශයෙන් 90%ක් පමණම එච්.අයි.වී
ආසාදනය ව්‍යාප්ත වන්නේ ලිංගික සංසර්ගය මගින් වුවත් රුධිර පාරවිලයනය, මත්ද්‍රව්‍ය,
මවගෙන් දරුවාට වැනි ක්‍රම මගින් ද මෙය ව්‍යාප්ත වීමේ අවදානම පවතී. ලෝක ඒඩ්ස් දිනය
දෙසැම්බර් 01 වෙනිදාට
යෙදී ඇත.
සතියකට
එච්.අයි.වී ආසාදිතයන් හතර දෙනෙකු මෙරටින් වාර්තා වන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා
ඒඩ්ස් මර්දන ඒකකය පවසයි. එම තත්ත්වය ඉතා භයානක කරුණක් වන්නේ එච්.අයි.වී යනු බෝවන
රෝගයක් මෙන්ම මාරාන්තික රෝගයක් වන බැවිනි. මිලියන 20.6ක් වන අපගේ
ජනගහනයෙන් සතියක් තුළ සිව්දෙනෙකු එච්.අයි.වී ආසාදිතයකු වීම යනු අප රටේ වැඩි
ජනගහනයක් ඒඩ්ස් රෝගීන් වීම තව නොබෝ කලකින්ම සිදුවීමේ සම්භාවිතාව වැඩි වීමයි. එබැවින්
ඒ පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමු කර ක්‍රියා කළ යුතු කාලය එළඹ ඇත.
මේ වන විට
ඒඩ්ස් පාලනය කිරීමට පමණක් ඖෂධ සොයාගෙන ඇත. ඒඩ්ස් රෝගී තත්ත්වය එච්.අයි.වී ආසාදනයේම
යම් රෝගී තත්ත්වයකි. එච්.අයි.වී වෛරසය ඒඩ්ස් තත්ත්වයට පැමිණි විට එය කිසි ලෙසකින්
ඖෂධ වලින් පාලනය කළ නොහැකිය. එච්.අයි.වී ආසාදනය වු කෙනෙක් රෝග ලක්ෂණ නොපෙන්විය
හැකිය. නැත්නම් ලක්ෂණ ස්වල්පයක් පමණක් පෙන්විය හැක. වැඩිහිටියෙකු තුළ රෝග ලක්ෂණ
තිබීමට වසර 10ක වැනි දිගු කාලයක් තිබිය
හැකිය. ළමයින් තුළ වසර දෙකක් රෝග ලක්ෂණ නොතිබිය හැකිය. මේ කාලය තුළ එච්.අයි.වී
වෛරසය තවමත් සිරුරේ ඇත. රෝගීයාගේ ප්‍රතිශක්ති පද්ධතිය සෙමින් හානිකර වන අතර ප්‍රතිශක්ති
පද්ධතිය රෝගී වන විට තව රෝග ලක්ෂණ ඇතිවේ. ඉදිමුණු ග්‍රන්ථි ප්‍රථම ලක්ෂණයක් වේ.
වෙනත්
ලක්ෂණ ලෙස දුර්වල හා මහන්සි වීම, ආහාර රුචිය නොතිබීම හා බර අඩු වීම, නිතර උණ තිබීම
හා දහඩිය වැඩිපුර දැමීම, සමේ පැල්ලම් කිහිපයක් තිබීම, තෘෂ් නම් රෝගයක් මුඛයේ හෝ
යෝනි මාර්ගයේ තිබීම හා බොහෝ දේවල් අමතක වීම පෙන්වා දිය හැකිය. රෝගීයාගේ ප්‍රතිශක්ති
පද්ධතිය දුර්වල වන විට රෝග ලක්ෂණ වැඩි වේ. නිව්මෝනියාව, ක්ෂය රෝගය, පිළිකා හෝ
චිත්ත වික්ෂේපය වැනි මොළයේ රෝග ඇතිවිය හැක. වෙනත් රෝග ලක්ෂණ ලෙස කැස්ස, හුස්ම
ගැනීම අපහසු වීම, වලිප්පුව, ව්‍යාකූල වීම, දේවල් අමතක වීම, උණ, සුව නොවන පාචනය, පෙනීමේ
දුර්වලතාව, වමනය, බර අඩු වීම, සමේ දද කුෂ්ඨ තිබීම, පීඩන තුවාල, ඇලවෙන ඇස්
පෙන්වාදිය හැකිය. සමහර රෝගීන් මිය යන
තෙක් මේවා දරුණු වේ. වෙනත් අය ඉතා ආසාධ්‍ය වී කාලයකට සුව වී නැවත රෝගී වෙති. එ්ඩ්ස් රෝගීන්ට ක්ෂය රෝගය ඇතිවුවහොත් එයින්
සුව විය හැක. එච්.අයි.වී බෝවෙන ආකාරය ගැන මොහොතක් කල්පනා කළහොත් එච්.අයි.වී ආසාදනය වන
ප්‍රධාන ක්‍රම 3කි. ඒවා
පහත පරිදි වේ.
- එච්.අයි.වී ආසාදිතයෙකු සමග පවත්වන අනාරක්ෂිත ලිංගික සංසර්ගයේදී
- එච්.අයි.වී ආසාදිත රුධිරය හෝ රුධිර නිෂ්පාදන ශරීරයට ඇතුළු වීමෙන්
- එච්.අයි.වී ආසාදිත මවකගෙන් උපදින දරුවාට ආසාදනය වීමෙන්
එමෙන්ම
උක්ත පැවසූ ක්‍රම තුනට අමතරව ද එච්.අයි.වී ආසාදනය වන තවත් ක්‍රම කිහිපයක් ගැනද අප
සැලකිලිමත් විය යුතුය. එච්.අයි.වී වෛරසය කෙනෙකුගේ ශරීරයට ඇතුළු වීමට නම් ඒ
පුද්ගලයාගේ සිරුර තුළට රුධිරය යම් ප්‍රමාණයක් ඇතුළු විය යුතුය. ආසාදනය වු පුද්ගලයෙකුගේ
ඉතා කුඩා තුවාලයකින් හෝ සිරීමකින් ආසාදන තරල තවත් කෙනෙකුගේ සිරුරට ඇතුළු වු විට
මෙය බෝවීම සිදු විය හැක. රුධිර පාරවිලයනය හෝ ශරීර අවයව බද්ධයක දී එච්.අයි.වී
ආසාදනයක් ඇතිවීමේ ඉඩකඩක් පවතී. එසේම මත්ද්‍රව්‍ය ලෝලීන් අතර ඒ සඳහා භාවිතා වන කටු
හෝ එන්නත් කටු හුවමාරු කරගන්නා බැවින් එච්.අයි.වී ආසාදනය වීමේ වැඩි ඉඩකඩක් පවතී. ශරීර
අවයව විද ගැනීම, පච්ච ගැසීම වැනි කාර්යයන් වලදී භාවිතා කරන උපකරණ ජීවාණුහරණය කිරීමෙන්
තොරව භාවිතා කිරීමද එච්.අයි.වී ආසාදනය විය හැකි තවත් ක්‍රමයකි.
ලිංගාශ්‍රිත
රෝග සායනයකට යොමු වී වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් ද රුධිර පරීක්ෂණයක් කර ගන්නේ නම්
ඉතා වැදගත්ය. තම ගමේ ලිංගාශ්‍රිත රෝග සායනයට යෑමට අපහසුතාවයක් තිබේ නම් නගරයට
පැමිණ වෛද්‍යවරයෙකු හමු වී රුධිර පරීක්ෂණයක් කරගැනීම ඔබගේ ශරීර සුවතාවට ඉතාම අගනේය.
අප රට
තුළ තිබෙන වෛද්‍ය පහසුකම් සමග කෙනෙකුට එච්.අයි.වී ආසාදනය වී ඇත්දැයි දැනගැනීමට නම්
මාස තුන හතරක් ගතවේ. අනාරක්ෂිත ලිංගික සබඳතාවලදී කොන්ඩම් භාවිතා කිරීම ලිංගාශ්‍රිත
රෝග ආසාදනය වීමේ අවදානම අවම කරගත හැකි එක් ක්‍රමයකි. විශේෂයෙන්ම රුධිර පාරවිලයනය වැනි
ක්‍රියාකාරකම් වලදී ඒ සඳහා භාවිතා කරන උපකරණ ජීවානුහරණය කළ ඒවාදැයි පරීක්ෂා කර
භාවිතා කිරීමද තවත් ක්‍රමයකි.
එකට එක්ව
ඒඩ්ස් වළකාගැනීමට ජාතිය මෙහෙයවීම අද කාලීන අවශ්‍යතාවයකි. අනාරක්ෂිත ලිංගික සබඳතාවලින්
වැළකීම මෙයට ඇති පහසුම හා හොඳම විසඳුම වේ. ජීවිතයේදී තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා
ගන්නේ නම් තමන්ගේ සුවතාව පමණක් නොව තම පවුලේ විශ්වාසය ද බිඳුවක් හෝ පළුදු නොවනු ඇත.
මෙම කතිකාවත ලෝක ඒඩ්ස් දිනයට පමණක් සීමා නොවී ඉදිරියට යනවා නම් මරණයට අත වනන තවත්
එක් සමාජ පිළිලයකින් ගැලවීමට මාර්ගය විවෘත වනු නිසැකය.
එච්.පී.එන්.එච්.මධුරංගි
No comments:
Post a Comment