කුඩාම ජාතික වන උද්‍යානය නමින්
විරුදාවලිය ලත්
හොරගොල්ල ජාතික උද්‍යානය
හොරගොල්ල ජාතික උද්‍යානය
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය
ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවුවක් වුවද
සතුන් හා ශාක ගැන විවිධ පර්යේෂණ කරන්නන් හට මෙම වන උද්‍යානය නුපුරුදු ස්ථානයක්
නොවෙයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින මෙම ජාතික උද්‍යානයට ප්‍රවේශ
වීමට කොළඹ - නුවර මාර්ගයේ නිට්ටඹුව නගරයෙන් කිලෝමීටරයක් වේයන්ගොඩ දෙසට ගමන් කළ විට
හමුවන පින්නගොල්ල හන්දියෙන් වමට හැරී මීටර් 600ක් ගිය විට හොරගොල්ල ජාතික උද්‍යානයේ කාර්යාලයට
පැමිණිය හැක. උද්‍යානයට පැමිණෙන්නන්ට ඇති එකම දුෂ්කරතාව වනුයේ පිවිසුම් මඟ පටු
වීමයි. එහි පළල අඩි තුන හමාරක් පමණ වන අතර වාහන නවතා තැබීමේ පහසුකම් සීමිත වේ.
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලයේ නැගෙනහිර ප්‍රාදේශීය ආදායම්
පාලක කොට්ඨාසයට අයත් මෙම ජාතික උද්‍යානය උඩහපත්තුවේ පිහිටි හම්බදළුව ග්‍රාමයෙහි
හෙක්ටයාර් 13, 362 ක (අක්කර 33) භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇත.
සාමාන්‍ය ව්‍යවහාරයේ හොර කැලය නමින්
හැඳින්වු මෙම අක්කර තිස් ගණනක භූමිය හොරගොල්ල වලව්වට අයිතිව තිබුවකි. හැත්තෑව
දශකයේ එය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත. වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා
පනත යටතේ 1973 ඔක්තෝම්බර් මස 5 දින හොරගොල්ල රක්ෂිතය අභය භූමියක් වශයෙන් ප්‍රකාශයට
පත්කර ඇත. මෙම ප්‍රදේශයේ වෙසෙන සත්ව හා ශාක විශේෂ දිගු කාලීනව ආරක්ෂා කරගැනීම
පිණිසත් අධ්‍යාපන, පර්යේෂණ සහ පරිසරය පිළිබඳව ජනතාවට ආශ්වාදයක්
ලබාදීම සඳහාත් වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත යටතේ 2004 ජුලි 28 වන දින මෙම අභය භූමිය ජාතික වන උද්‍යානයක් ලෙස ප්‍රකාශයට
පත්කර තිබේ.
හොරගොල්ල ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට
පත් කිරීමේ අරමුණු ලෙස,
§ සුවිශේෂ වු ජෛව විවිධත්වය දිගු
කාලීනව සංරක්ෂණය කිරීම.
§ නාගරික ජනතාව සඳහා ස්වභාවික
පරිසරයෙහි ඇති ආශ්වාදය අත්විඳීමට අවස්ථාව උදා කිරීම.
§ ස්වභාවික පරිසර අධ්‍යයන හා
පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත් කිරීම.
§ වඳ වෙමින් පවතින විල්මුවා සංරක්ෂණ
ව්‍යාපෘතියක් (අභිජනන මධ්‍යස්ථානයක් ) පවත්වාගෙන යෑමට කටයුතු කිරීම.
ජෛව විවිධත්වයක් සහිත මනරම්
භූමිභාගයක පිහිටා තිබෙන හොරගොල්ල ජාතික උද්‍යානය මුල් කාලයේ හොර කැලෑව නමින්
හැඳින්වු අතර එහි හොර ශාකය බහුලව තිබීම ඊට හේතූවිය. උද්‍යානය තුළ සංචාරක නිවහන් හෝ
කඳවුරුබිම් කිසිවක් නොමැත. සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක්, ප්‍රවේශපත්‍ර කවුළුවක් හා කුඩා ශ්‍රවණාගාරයක්
ඇත. තවද කුඩා කෞතුගාරයක් ද ඇත. හොරගොල්ල ජාතික උද්‍යානය පහතරට තෙත් වනාන්තරයක් වන
අතර මෙය ද්විතීයික වනාන්තරයක් ලෙස ද හැඳින්විය හැකිය.
මෙහි පැහැදිලි ස්ථරීභවනයක් දක්නට
ලැබේ. එනම් නෙරු , වියන් , පඳුරු හා යටිරෝපණ වශයෙන්
පැහැදිලි ස්ථර හතරක් වනාන්තරය තුළ දැකගත හැකිය. මුල් කාලයේ ඒ ස්ථානය මිනිසුන්ගේ
ජීවග්‍රහණයට නතුව තිබී ඇති අතර පසුකාලීනව වනාන්තරයක් බවට පත්වී ඇත. මෙහි හිරු එළිය
පොළොවට පතිත නොවන අතර හිරු කිරණ ලෙස පතිතවුවත් තනි කෙළින්ම පොළවට පතිත නොවේ.
බස්නාහිර වනජීවී කලාපය තුළ මිනිස්
හා වෙනත් උපද්‍රවයන්ගෙන් අවතැන් වන සතුන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස
මෙම ස්ථානය හැඳින්විය හැකිය. ඒ අනුව පක්ෂීන්
, උරගයන් , කුඩා ක්ෂිරපායින් සහ විශාල
ක්ෂිරපායි කාණ්ඩවලට අයත් සත්ත්වයන් රැසක් මෙහි ගෙනවිත් සුවවන තෙක් ප්‍රතිකාර කොට
සුදුසු පරිසරයකට නිදහස් කිරීමද මෙහිදී සිදු කෙරේ. හඳුන් දිවියන් , කොළ දිවියන් වැනි දිවි පවුලට අයත් සතුන් මෙන්ම උකුස්සන් වැනි පක්ෂීන්
ද මෙහි ගෙනවිත් ප්‍රතිකාර කොට නිදහස් කරනු ලැබේ. එමෙන්ම වඳවී යාමේ තර්ජනයට ලක්ව
ඇති විල්මුවා ආරක්ෂා කරගැනීම සඳහාත් එම සතුන් බෝ කිරීම සඳහාත් විශේෂ ව්‍යාපෘතියක්
වසර දෙකකට පමණ පෙර සිටම මෙහි ක්‍රියාත්මක වේ.
වැලි මිශ්‍ර මැටි පසක් පවතින මෙම
උද්‍යානය පුරාම තෙත් සහිත ස්වභාවයක් පවතියි. පහතරට තෙත් කලාපීය වනාන්තරයක් වන මෙය
නිට්ටඹුව නගරයට ආසන්නව පැවතුන ද විශාල උෂ්ණත්ව පරාසයක් වර්ෂය පුරා දැකගත හැකි අතර
ප්‍රධාන වශයෙන් නිරිත දිග මෝසම් වැසි ලබන උද්‍යානයට වර්ෂය පුරාම විටින් විට වැසි
ලැබේ. උද්‍යානය තුළ ඇති තෘණ භූමි ප්‍රමාණය හෙක්ටයාර 1.5 ක් වන අතර එය උද්‍යානය තුළ පිහිටි
එකම තෘණ භූමියද වේ. මේ හැරුණු කොට විවෘත ස්ථානයකට ඇත්තේ හොරගොල්ල වැව ලෙස
හැඳින්වෙන ජලාශයයි. අතීතයේ පටන් ප්‍රදේශයේ කුඹුරු ඉඩම් සඳහා ජලය ලබාගන්නා කුඩා
වැවක් වන මෙය හොරගොල්ල උද්‍යානයේ වනවදුලෙන් මෙන්ම හොරගොල්ල වත්ත වනවදුලෙන් ද පෝෂණය
ලබයි. මෙහි ප්‍රමාණය හෙක්ටයාර් 1.2කි.
මෙම උද්‍යානය ආශ්‍රිතව තෙත්
සදාහරිත වනාන්තර වලට අයත් ශාක ප්‍රජාවන් දැකිය හැකිය.
හොර (Dipterocarpus zeylanicus) , කැකුණ
(Canorium zeylanicus) , ගොඩපර
(Dillenia retusa) , දියපර (Wormia triquetra) , කිතුල් (Caryota
urens) , බට (Ochlandra stridula) , නැදුන් (Pericopsis mooniana) , ඇටබ (Mangifera zeylanicus) , බෝ (Ficus riliglosa) , රුක් (Horstieldia
iryaghedhi) , අන්කෙන්ද (Acronichia pedunculata) , මිල්ල (Vitex altissima) , මුණමල් (Mimusops
elengi) , දෙල් (Artocarpus nobilis) , වෙලං (Pterospermus canescens) වැනි ශාක උද්‍යානයේ බහුලව දක්නට
ලැබේ.
උද්‍යානයේ ප්‍රධාන වැල් විශේෂ ලෙස
හිඹුටු වැල් (Salacia reticulata) , කොරස වැල් (Tetracera sarmentosa) , මා වේවැල් (Calamus zeylanicus) , පෝට වැල් (Pothos scandens) සහ පුස් වැල් (Entada pusaetha) දැකිය හැකිය.
මීට අමතරව තෘණ විශේෂ ද රැසක් ඇත.
ඒ අතර නිල්මොනරැස්ස (Uiriculariareticulata) , කඳුලැස්ස (Dreseraindica) , වටැස්ස (Droseraburmanni) ඇත.
මෙම උද්‍යානයේ වන සත්තු අතර හඳුන්
දිවියා (Felis viverrinas) , කොළ දිවියා (Felis
rubiginosa phillipsi) , මීමින්නා (Tragulus meminna) , නරියා (Canis aureus lanka) සහ දඬුලේනා (Ratufa macroura) දක්නට ඇත.
උද්‍යානය ආශ්‍රිතව පක්ෂි විශේෂ ද
බහුලව හමුවේ. ඒ අතර අළු කෑදැත්තා (Ocyeerosgingalensis) , ශ්‍රී ලංකා ගිරා මලිත්තා (Loriculusberyllinus) , හිස කළු කොණ්ඩයා (Pyenonotusmelanicterus) , ශ්‍රී ලංකා අළු ගිරවා (Psittaculacalthropae) , ශ්‍රී ලංකා මුදුන්බොර දෙමලිච්චා (Pellorneumfuscocapillum) , ආසියානු කොහා (Eudynamysscolopacea) , ඇටි කුකුළා (Centropussinensis) දැකිය හැකිය.
එමෙන්ම මෙහි ජලාශයේ මගුරා (Clariasbrachysoma) , කනයා (Labeodussumieri) , කොට පෙතියා (Puntiusfilamentosus) සහ අහිරාවා (Lepidocephalichthysthermalis) යන මත්ස්‍ය විශේෂ ද සිටිති.
සර්ප විශේෂ අතර පිඹුරා (Python molurus molurus) ,
පොළඟා
(Acronichia
pedunculutc)
තිත්
පොළඟා (Daboiarusselii) , ගැරඬියා (Coluber mucosms maximus) , පොළොන් තෙලිස්සා (Hypnale hypnale) , දෙපත් නයා (Cylindrophis maculatus) , තෙල්මල් කරවලා (Chrysopeleaornata) , ඇහැටුල්ලා (Ahaetullanasutus) , මුදු කරවලා (Bungarusceylonicus) සහ නයා (Najanaja) වෙති.
තවද උරග විශේෂ අතරින් කබරයා (Varanus monitor kabaragoya) , ගල් ඉබ්බා (Melanochelys trijuga) , කිරි ඉබ්බා (Lissemys punctate ceylonensis) මෙහි සිටියි.
හොරගොල්ල වැව තුළ ජලජ ශාක බහුලව
වැවී තිබේ. සැල්වීනියා හා හයිඩ්‍රිල්ලා වැනි ආක්‍රමණික ශාකද ඕලු හා නෙළුම් ද ඒ අතර
ප්‍රධාන වේ. කුඩා වනෝද්‍යානයක් වුවත් ආක්‍රමණික ශාක වැඩි ප්‍රමාණයක් මෙහි දක්නට
ඇති අතර දියපර හා බු දෙල් ප්‍රධාන තැනක් ගනියි. සමස්තයක් ලෙස ගත්කල හොරගොල්ල ජාතික
උද්‍යානය යනු හොර ශාකය 95%ක් පමණම ප්‍රමුඛ ශාකය වන වනගොමුවකි.
මෙම උද්‍යානය නව උද්‍යානයක් බැවින් දියුණු කළ යුතු පහසුකම් රැසකි. අධ්‍යයන
කටයුතු හා සංචාරක කටයුතු සඳහා අවශ්‍ය පුස්තකාල , විද්‍යාගාර සහ කෞතුකාගාර පහසුකම් භෞතිකමය සම්පත් ලෙස මීට ලැබීම අවශ්‍යතාවකි.
තෙත් කලාපීය වනාන්තර ආදර්ශයක් ලෙස පවත්වාගෙන යෑමේ වැඩි අවශ්‍යතාවක් පවතින බැවින්
සංචාරක කටයුතු වලට වඩා සංරක්ෂණය සඳහා අවධානය යොමු කිරීමත් ඊට අදාළ පහසුකම් සඳහාත්
ප්‍රමුඛතාවය දිය යුතුය. සත්ව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසත් බුලත්හපයා සහ තල්
කොස්සා යන මිරිදිය ආවේණික මසුන් දෙදෙනාගේ අභිජනන මධ්‍යස්ථානයක් ලෙස වැඩි දියුණු
කිරීමට ලැබී ඇති යෝජනාත් වැදගත් කොට සැලකිය හැකිය. ඒ හැරෙන්නට ආක්‍රමණික ශාක ඉවත්
කිරීමට හෝ පාලනයට ගෙන ඇති පියවර කඩිනම් කිරීම වැදගත්ය. ඇතැම් තැන්වල බු දෙල් ශාකය
සියයට සියයකින්ම හොර ශාකය පරදවා ප්‍රමුඛ වන්නට දරන උත්සහාය සංරක්ෂණ බලධාරීන්ගේ
අවධානයට යොමුවිය යුතුය.
හොරගොල්ල ජාතික උද්‍යානය
වනසතුන් හා වෘක්ෂලතාවන් පිළිබඳව පර්යේෂණ කරන්නන්ට පමණක්ම සීමා වුවක් නොවෙයි.
නිස්කලංක පරිසරයක සුවයක් මෙහි පැමිණෙන්නෙකුට විඳිය හැක. පරිසරයේ නිහැඬියාව ආරක්ෂා
කරගන්නා තරමට වන සතුන් හොඳින් දැකබලා ගැනීමට ඔබට හැකිවනු ඇත. එමෙන්ම ගෙන ආ කිසිවක්
වනයේ තබා නොයාමත් මතකයන් පමණක් රැගෙන යාමත් තුළින් මේ සුන්දර පරිසරය මතු පරපුරටත්
නොකිලිටිව දැකබලා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
එච්.පී.එන්.එච්.මධුරංගි
No comments:
Post a Comment