වැහිබර වළාකුළු පිරුණු අහසත් එක්ක
තවත් අලුත් දවසක් උදාවුණා. විශ්ව පොරෝනය ගතින් ඉවත් කළේ යන්තම් දෑස් විවර
කරගනිමිනි. ඇස් දෙකත් බාගෙට ඇරගෙන විශ්ව දුරකථනය අතට ගත්තෙ ෆාතිමාට ඇමතුමක් ගන්න.
“ගුඩ් මෝනින් මැණික”
“ගුඩ් මෝනින්”
“මොකෝ මේ තරහින් වගේ. ගොඩදවසකින්
කතා කරපු නැති නිසාද?”
“එහෙම දෙයක් නෑ විශ්ව. මං තව
ටිකකින් ඔයාට කතා කරන්නම්. මං දැන් පොඩි වැඩක්.”
ෆාතිමා දුරකථනය තිබ්බේ විශ්ව තවත්
මුකුත් කියන්න කලින්ය. විශ්ව ආයෙමත් ඇස් දෙක පියාගත්තෙ අතීතය සිහියට නංවාගනිමිනි.
පවුලේ එකම දරුවා වුණ ෆාතිමා
මුස්ලිම් තරුණියක්. ෆාතිමාගේ මව මිය ගියේ ඇය කුඩා කාලේදීමයි. ෆාතිමා කුඩා කාලේ
ඉඳන් හැඳුණෙ වැඩුණෙ තාත්තත් එක්ක. විශ්ව උපතින්ම වලව්කාරයෙක්. විශ්වගේ තාත්තත් ගමේ
ප්රසිද්ධ වලව්කාරයෙක්. අම්මා ගුරුවරියක්. ඇය ටිකක් ආඩම්බර කාන්තාවක්. විශ්ව එක
වසරේ ඉදන් පාසල් ගියේ මිශ්ර පාසලකට. ඉගෙනගන්න කම්මැලියෙක් වුණාට විශ්ව කැඩෙට්
වලට ගොඩක් කැමති. ඒ නිසා තමයි අම්මයි
තාත්තයි විරුද්ධ වුණත් පාසලේ කැඩෙට් ටීම් එකට විශ්ව ඇතුළත් වුණේ. පුංචි කාලේ ඉදන්
විශ්ව ආසකළේ කමාන්ඩෝ එකට යන්න. විශ්වට හීනෙකට කියල තිබ්බෙත් එච්චර තමයි.
දවසක් උදේම පුහුණුවීම් කරන්න විශ්ව
පිට්ටනියට ආවේ යාළුවොත් එක්කමයි. එතකොට තමයි දැක්කෙ ලස්සන සුරංගනාවියක් වගේ
කෙල්ලෙක් තාත්තත් එක්ක ගේට් එකෙන් ඇතුල්වෙනවා. විශ්ව ආව වැඩෙත් නවත්තල කටත් ඇරගෙන
කෙල්ල නොපෙනී යනකම්ම බලාගෙන හිටියා. විශ්ව ආයෙත් පියවි ලෝකෙට ආවේ කකුල් දෙකට
වැදුණු කෝටු පාරෙන්. පුහුණුවීම් වලට ආව කියල මතක් වුණේ එතකොට තමයි. පාසල පටන්ගන්න
සීනුව නාද වුණාට පස්සෙ විශ්ව ඇඳුම් මාරුකරගෙන ආයෙත් පංතියට ගියා. ගුරුතුමා පංතියට
ඇවිත් පාඩම පටන් ගත්තට විශ්වට ඒ ගැන ගානක් තිබ්බේ නෑ. අද ටිකක් හිත කලබලයි කියල
විශ්වටම තේරුණා. ඒ නිසා ඩෙස් එකට හිස තියාගත්තා. ටික වේලාවකින් පංතිභාර ගුරුතුමිය
කතා කරන හඬ ඇහිලා විශ්ව ඔලුව ඉස්සුවා. එතකොටම තමයි දැක්කේ උදේ දැකපු සුරංගනාවි
පංතිය ඉස්සරහ හිටන් ඉන්නවා. තමන් දකින්නෙ හීනයක් ද බලන්න විශ්ව ඇස් දෙක පිහදාලත්
බැලුවා. “නෑ ඇත්තක් තමයි මේ.”
“ළමයි මේ තමයි අපේ පංතියට ආව අලුත්
ළමයා ෆාතිමා.” ගුරුතුමිය ෆාතිමාව පංතියට හඳුන්වල
දීලා යන්න ගියා. ඊට පස්සෙ කොල්ලො හැමෝගෙම ඇස් තිබ්බෙ ෆාතිමා ළඟ. දකින ඕන කෙනෙක්ට
දෙසැරයක් හැරිලා බලන තරම් ලස්සනක් ෆාතිමාට තිබ්බා. විශ්වත් කට ඇරගෙන කෙල්ල දිහා
බලන් හිටියා. ඒ කැත හිතින් නම් නෙමෙයි. තමන්ගෙ හිත හොල්ලපු පලවෙනි කෙල්ල. “මං මෙයාව කොහොමහරි සෙට් කරගන්නවා” විශ්ව තදින්ම හිතාගත්තා.
මේ විදියට දවස් සති ගෙවුණත්
ෆාතිමා වැඩිය පිරිමි ළමයි එක්ක කතා කළේ නෑ. පාඩුවේ හිටියා. විශ්ව නම් ඒකට ටිකක්
කැමැත්තෙන් හිටියෙ.
දවසක් උදේ විශ්ව වෙනදා වගේම
පුහුණුවීම් වලට ගියා. එතකොට තමයි දැක්කෙ ෆාතිමා තවත් ගෑණු ළමයෙක් එක්ක කැඩෙට් ටීම්
එක පුහුණුවීම් කරන දිහා බලන් ඉන්නවා දැක්කෙ. කාලයක් යද්දී ෆාතිමා විශ්වගෙ හොඳ
යාළුවෙක් වුණා. ටික දවසකින් යාළුවො වගේ කතා කරමින් හිටිය විශ්ව ෆාතිමාගෙන් ආදරේ
ඉල්ලුවා. විශ්වගෙ තිබුණු හැඩකාරකමටයි හොඳ ගතිගුණ වලටයි ෆාතිමාට බෑ කියන්න
බැරිවුණා. මේ විදියට දෙන්නගෙ ආදරේ ලස්සනට ගලාගෙන ගියා. නමුත් ටික දවසක් යනකොට මේ
දෙන්නගෙ ආදරේ ගෙවල් වලින් දැනගත්තා. විශ්වගෙ දෙමව්පියෝ වගේම ෆාතිමාගෙ තාත්තත් මේ
සම්බන්ධයට විරුද්ධ වුණා. ඒ ඔවුන් සංස්කෘතීන් දෙකකට අයත්වුණ නිසා. නමුත් දෙන්නගෙ
ආදරේ හොර රහසින්ම ගලාගෙන ගියා.
ෆාතිමත් විශ්වත් පාසල් ජීවිතයට
සමුදුන්නත් ආදරේට නම් තිත තිබ්බෙ නෑ. ටික කාලයක් ගෙදරටම වෙලා හිටිය විශ්ව
දෙමව්පියන්ගෙත් ෆාතිමාගෙත් අකැමැත්ත මත යුධ හමුදාවට බැඳුණා. විශ්වගෙ එකම හීනෙ
හමුදාවට බැඳෙන එක කියලා ෆාතිමා දැනගෙන හිටියෙ පාසල් කාලෙදීමයි. ඒ නිසාම
අකැමැත්තෙන් වුණත් කැමැත්ත දුන්නා. ඒත් ඔවුන්ගෙ ආදරේ වෙනදා වගේම බාධා මැද්දෙන්
ලස්සනට ගලාගෙන ගියා.
“ඒයි නැගිටපන් ප්රැක්ටිස් යන්න”
විශ්ව පියවි සිහියට ආවේ යාළුවගෙ
කට හඬට. ෆාතිමාගෙ වෙනස ගැන කල්පනා කරමින්ම විශ්ව ඇඳෙන් නැගිට්ටේ ප්රැක්ටිස් යන්න.
ප්රැක්ටිස් ඉවර වෙලත් ඇවිත් විශ්ව කල්පනා කළේ ෆාතිමාගෙ අලුත් වෙනස ගැන. ටික කලක
ඉඳන් මේ වෙනස විශ්වට දැනුණත් ඔහු ඒක ගණන් ගත්තෙ නෑ. ඒ නිසා මේ ගැන ෆාතිමාගෙන් ඇහුවෙත්
නෑ. නමුත් එන්න එන්නම ෆාතිමාගෙ වෙනස වැඩිවන නිසා විශ්ව ෆාතිමාට නැවතත් කෝල් එකක්
ගත්තෙ මේ ගැන අහන්න.
“ෆාතිමා ඇයි උදේ කෝල් එක කට් කළේ? ”
“මං වැඩක ඉන්නෙ කියල ඔයාට කිව්වනෙ.”
“හරි දැන්වත් කතා කරන්න පුළුවන් ද?”
“ඇයි කියන්න.”
“මං ලබන සතියෙ නිවාඩු එනවා.”
“හා”
“මොකද ෆාතිමා ඔයාට වෙලා තියෙන්නෙ?”
“මුකුත් නෑ අනේ. මං තියනවා තාත්තා
ආවා.”
ෆාතිමා විශ්වගෙ ඇමතුමට සමුදෙන්නෙ
නැතුවම දුරකථනය විසන්ධි කළා. විශ්ව දුකින් උනත් හිත හදාගත්තෙ ලබන සතියේ ගෙදර ගියාම
මේ ගැන ෆාතිමා එක්ක කතා කරනවා කියල හිතාගෙන.
දින හයකට පසු,
උදේම අවදිවුණ විශ්ව ගෙදර යන්න
ලෑස්ති වුණා. යන්න කලින් ෆාතිමාට කෝල් එකක් ගත්තට ෆාතිමාගේ දුරකථනය ක්රියාවිරහිත
කරලයි තිබුණේ. හැමදෙයක්ම හිතේ තියාගෙන ගෙදර යන්න කැම්ප් එක ළඟින් බස් එකට නැගපු
විශ්ව ගෙදරට යනකම්ම කල්පනා කළේ ෆාතිමා දුරකථනය ක්රියාවිරහිත කරලා තියෙන්නෙ ඇයි
කියලයි. ගෙදරට ආපු මොහොතෙම ගමන් මහන්සියවත් නොබලා විශ්ව ගියේ ෆාතිමාව හම්බවෙන්න
හිතාගෙන ඇගේ නිවසට.
ෆාතිමාගෙ ගෙදර ළඟට එනකොටම විශ්ව
දැක්කා ඇගේ ගෙදර ලස්සනට සරසලා තියනවා. මේ ඇයි කියල දැනගන්නකම් විශ්වට ඉවසුම්
නැතිවුණා. ඒ නිසාම ෆාතිමාගෙ ගෙයි මිදුලට ඇතුල්වුණේ මේ ගැන දැනගන්න හිතාගෙන. නිවසට
ඇතුල්වෙනකොටම දැකපු දෙයින් විශ්වගෙ ඇස් අදහගන්න බැරිවුණා. ෆාතිමා තවත් නාඳුනන
පිරිමියෙක් ළඟ ඉඳගෙන මංගල චාරිත්ර කරනවා දැක්ක විශ්වට ඉවසුම් නැතිවුණා. ඒ මොහොතෙම
ආපසු ගෙදර යන්න හැරුණු විශ්ව ඇස්වල කදුළු පුරෝගෙනම ඔහුගේ පාසල් කාලේ මිතුරෙකු වු
රංගගේ ගෙදරට ගියා.
“උඹ කවද්ද ආවේ”
විශ්ව දැකපු ගමන් රංග කලබලෙන් වගේ
ඔහු ළඟට ආවා. රංගගේ ප්රශ්නෙට උත්තර දෙන්න තරම් ශක්තියක් විශ්ව ළඟ තිබුණේ නෑ.
කල්පනාවක් තිබ්බෙත් නෑ. ටික වේලාවක් නිහඬව හිටිය රංග ආයෙත් කතා කරන්න පටන් ගත්තෙ
විශ්වට ඇති තරම් අඬන්න කාලේ දීලා. විශ්ව මෙහෙම අඬන්න හේතුව රංග කල්තියාම දැනගෙන
හිටියා.
“සොරි මචං”
රංග සොරි කිව්වේ මොකටද කියල
විශ්වට තේරුම් ගන්න බැරිවුණා. ඒ නිසාමයි ඔහු කටත් ඇරන් රංග දිහා බලන් හිටියේ.
“මං මේ හැමදයක්ම දැනගෙන හිටියා.”
රංග එහෙම කියනකොට ම විශ්වගෙ ඇස්වල
කදුළු ආයෙත් අලුත් වුණා.
“මට දැන්වත් ඇත්ත කියපන් රංග”
“මං හැමදෙයක්ම කියන්නම්”
ෆාතිමා මේ කසාදේ කළේ කැමැත්තකින්
නෙමේ බං. ඒකිට වෙන කරන්න දෙයක් නැති නිසා. උඹ ආමි එකට ගියාට පස්සෙ ගොඩක් දේවල්
සිද්ධ වුණා. උඹේ අම්මයි තාත්තයි ෆාතිමාලගෙ ගෙදර ගිහින් ඒ මිනිස්සුන්ට බැනලා
තිබ්බා. උඹෙයි ෆාතිමාගෙයි ලව් එකට.
උඹලගෙ කසාදේ කවදාවත් වෙන්න දෙන්නෙ
නෑ කියල උඹලගෙ අම්මයි තාත්තයි කිව්වලු. ෆාතිමා මුස්ලිම් කෙල්ලෙක් නිසා උඹලගෙ
ගෙදරින් කැමති වුණෙත් නෑනේ බං මේකට. ඊට පස්සෙ තමයි ෆාතිමාගේ තාත්තා වෙන කොල්ලෙක් හොයල
තියෙන්නෙ ෆාතිමාව බන්දන්න. උඹලගෙ ලව් එකට ගෙවල් දෙකෙන්ම කවදාවත් කැමති වෙන්නෙ නැති
හින්දා තමයි ඒකි ඒ කොල්ලට කැමති වෙලා තියෙන්නේ.
ෆාතිමා උඹව මඟ ඇරියේ මේ නිසා
තමයි. ෆාතිමා මට කිව්වා මේ කිසිම දෙයක් වෙඩින් එක ඉවර වෙනකම් උඹට කියන්න එපා
කියලා.
විශ්වට දැනුණේ මුළු ලෝකෙම කඩන්
වැටුණ වගේ හැඟීමක්. තමන් පණටත් වැඩිය ආදරේ කරපු කෙල්ල නැතිවුණා කියල දැනගත්තම විශ්වගෙ
ඇස් වලින් කඳුළු වැක්කෙරුණා. විශ්වටත් ෆාතිමාටත් තමන්ගෙ ආදරේ නැතිවුණේ දෙමාපියෝ
තමන්ගෙ මුළු ජීවිතයම සංස්කෘතියක් වෙනුවෙන් බිලි දුන්න නිසයි කියල දැනෙද්දි විශ්ව
තමන්ටම වෛර කරගත්තා.
එච්.පී.එන්.එච්.මධුරංගි
Great one👍👍👍
ReplyDelete