Search This Blog

Thursday, May 9, 2019


ඡායාරූප සහ ආචාර ධර්ම
වර්තමානයේ ආචාර ධර්ම පිළිබඳව සංකීර්ණ කතිකාවක් ගොඩනැගී තිබේ. ලෝකයේ මාධ්‍ය සංවර්ධනය වු කාල සීමාවේ සිට මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව අවධානය යොමු විය. ජනමාධ්‍ය තුළ දී භාවිත වන රූප, ශබ්ද, වචන, දර්ශන යනාදිය සඳහා මෙකී ආචාර ධර්ම බලපායි. මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් අවශ්‍යය යන්න සැලසුම ඉදිරිපත් කරන ලද්දේ 1905 දී ස්වීඩනය මුල් කරගෙනය. ස්වීඩනයේ පුවත්පත් පිළිබඳ මණ්ඩලය විසින් මුලික කෙටුම්පත ඉදිරිපත් කරන ලදි. මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් මෙන්ම එම ආචාර ධර්ම විමසා බලන ආයතන තිබිය යුතු බවට ද යෝජනා දැක්වීය.මෙකී විමසා බැලීම සිදු කරන්නේ පාඨකයාගේ, ග්‍රාහකයාගේ යහපත උදෙසාය.විශේෂයෙන් ම මාධ්‍ය තුළදී අසාධාරණයට පත් වන්නේ පාඨකයාය. ප්‍රවෘත්ති, සිදුවීම් පළ කිරීමේදී යම් මිනීමැරුමක්, අපරාධයක් සම්බන්ධව පුද්ගලයෙකුගේ නම්, ගම් සම්බන්ධ කොට වාර්තා කොට ඇති විට එම පුද්ගලයා නිර්දෝෂී වුවත් නම් පළවීම නිසා ඔහුට අසාධාරණයක් සිදුවේ. එම පාඨක අසාධාරණය වැළැක්වීම සඳහා මාධ්‍ය ආචාර ධර්ම වැදගත් වේ. මාධ්‍ය එවැනි දෙයක් වාර්තා කිරීමට පෙර ඇතිවිය හැකි ගැටලුකාරී තත්වයන් අවම කරගැනීමට ආචාර ධර්ම වැදගත් වේ.


පසුගිය දිනක කතාබහට ලක් වු සිදුවීමක් ලෙස දුම්රිය වැඩ වර්ජනය හැඳින්විය හැකිය. මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය විශාල වශයෙන් ප්‍රචාරණ කටයුතු සිදු කළේය. පුවත්පත ගත් විට පුවත්පතේ ඡායාරූප මගින් ද එම වැඩ වර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත්වූ මහජනතාව පෙන්වන ලදි. 2018.08.16 වන දින ලංකාදීප පුවත්පතේ දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත්වූ මහජනතාව සිටින ඡායාරූපයක් පළ කර ඇත. මෙම ඡායාරූපය ප්‍රසිද්ධ ස්ථානයක ගැවසෙන මහජනතාව සිටින ඡායාරූපයක් ද වේ. එම ඡායාරූපය පුවත්පත් ආචාර ධර්ම මෙන්ම මාධ්‍ය වෘත්තීය ප්‍රතිපත්ති (ආචාර ධර්ම) මාලාව සමඟ ගැටෙන ආකාරය පහත පරිදි හඳුනාගත හැකිය.

1973 අංක 5 දරණ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනතේ 30 වගන්තිය යටතේ පුවත්පත් කලාවේදීන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක් නියම කර තිබේ. මෙය බලාත්මක කර ඇත්තේ 1981.10.14 දින අංක 162/5A දරණ ලංකා ආණ්ඩුවේ අති විශේෂ ගැසට් පත්‍රය මගිනි. මෙම පනතේ 30 (3) වගන්තියට අනුව පාර්ලිමේන්තුව මගින් ද සනාථ කර තිබේ. 
ඒ අනුව පුවත්පත් කලාවේදීන් සඳහා වන ආචාර ධර්ම සංග්‍රහයෙහි,
2. සෑම පත්‍ර කලාවේදියකු විසින්ම
() පොදු ජන රුචියට හෝ සදාචාරයට හානි කළ හැකි හෝ පොදු ජන රුචියේ හෝ සදාචාරයේ තත්වය පහත හෙළීමට ඉඩ ඇති කිසිවක් පළ කිරීමෙන් හෝ පළ කිරීමට සැලැස්වීමෙන් වැළකිය යුතුය.
මෙහිදී මහජනතාව දැනුවත් නොකොට ඔවුන්ගේ කැමැත්තකින් තොරව ඡායාරූප ගෙන ඒවා පළ කිරීම පොදු ජන රුචියට හෝ සදාචාරයට හානි කළ හැකි හෝ පොදු ජන රුචියේ හෝ සදාචාරයේ තත්වය පහත හෙළීමක් ලෙස දැක්විය හැකිය. මෙය ආචාරධර්ම කඩ කිරීමක් ලෙස හඳුනාගත හැකිය. මහජනතාව අපහසුතාවයට පත්වී සිටින අවස්ථාවක මෙවැනි ඡායාරූප ගනිමින් ඒවා පළ කිරීම ආචාර ධර්ම විරෝධී වේ.
ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් සම්පාදනය කරනු ලැබ ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම විසින්  පිළිගැනුණු මාධ්‍ය වෘත්තීය ප්‍රතිපත්ති (ආචාර ධර්ම) මාලාවෙහි,
2. නිරවද්‍ය වාර්තාකරණය
2.1 නිවැරදිවත් විකෘතියකින් තොරව ප්‍රවෘත්ති වාර්තා කිරීම හා ඡායාරූප පළ කිරීම සඳහා මාධ්‍යය සාධාරණ පරෙස්සමකින් ක්‍රියා කළ යුත්තේය.
වැඩ වර්ජනයක් නිසා අපහසුතාවයට පත්ව සිටින මහජනතාව පිළිබඳව මෙහිදී ඡායාරූප පළ කිරීම නිවැරදිව මෙන්ම විකෘතියකින් තොරව පළ කිරීමෙහිලා පුවත්පත සාධාරණ පරෙස්සමකින් ක්‍රියා කර ඇත්දැයි යන්න ගැටලුවකි. තවද ප්‍රසිද්ධ ස්ථානයක ගැවසෙන මහජනතාව සිටින ඡායාරූපයක් පළ කිරීමේදී නිසි වගකීමකින් යුතුව පත්‍ර කලාවේදීන් එය සිදු කළ යුතු වුවද එම වගකීම පැහැර හරිමින් ක්‍රියා කරන ආකාරය මේ තුළින් පැහැදිලි වේ.
මාධ්‍ය වෘත්තීය ප්‍රතිපත්ති මාලාවේ,
7. පෞද්ගලිකත්වය
7.1 පුද්ගලයන්ගේ පෞද්ගලික හා පවුල් ජීවිත ඔවුන්ගේ ගේදොර, සෞඛ්‍යය හා සහසම්බන්ධතාද කෙරෙහි ගෞරවයක් දැක්වීමෙහිලා පුවත්පත් විශේෂ සැලකිල්ලකින් ක්‍රියා කළ යුත්තේය. පෞද්ගලිකත්වයට ඇති මේ අයිතිය අදාළ පුද්ගලයන්ගේ කැමැත්තෙන් තොරව ආක්‍රමණය කිරීම සාධාරණීකරණය කළ හැක්කේ පොදු ජන සුබ සිද්ධිය ඒ සියල්ල ඉක්මවා යන්නේ නම් පමණකි.

7.2 පෞද්ගලිකත්වය පිළිබඳ සාධාරණ අපේක්ෂාවක් පවත්නා පෞද්ගලික හෝ පොදු තැනක සිටින පුද්ගලයන් ඔවුන්ගේ කැමැත්ත නැතිව ඡායාරූපගත කරනු සඳහා දිගු කාච සහිත හෝ වෙනත් ආකාරයක කැමරා භාවිතය, පොදු යහපත පිණිස නොවන්නේ නම්, පිළිගත හැක්කක් නොවේ.

මෙහිදී මහජනතාවගේ කැමැත්තෙන් තොරව ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන ආකාරයෙන් ඡායාරූපය පළ කර ඇත. ඔවුන් අපහසුතාවයට පත්ව සිටින අවස්ථාවක ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය කඩ කිරීමක් සිදු වී ඇත. එය පොදු ජන යහපත සදහා අදාල නොවන ක්‍රියාවකි. මෙය ප්‍රසිද්ධ ස්ථානයක ගැවසෙන මහජනතාව සිටින ඡායාරූපයක් වන නිසා ආචාර ධර්මයන්ට ගරු කරමින් එය පළ කළ යුතුවේ. මන්දයත් එම ඡායාරූපය හරහා මහජනයාගේ ගෞරවයට හා පෞද්ගලිකත්වයට බලපෑමක් විය හැකි බැවිනි.   
8. හිරිහැර හා කපටිකම්
8.1 ඡායාරූප ශිල්පීහුද ඇතුළු පුවත්පත් කලාවේදීහු බිය වැද්දීමෙන් හෝ හිරිහැර කිරීමෙන් හෝ වැරදි කරුණු ඉදිරිපත් කිරීමෙන් හෝ කපටිකමින් හෝ තොරතුරු හෝ ඡායාරූප ලබා ගැනීමට තැත් නොකළ යුත්තෝය. පොදු ජන යහපත පිළිබඳ සාධාරණීකරණය කළ නොහැකි නම් හා වෙනත් පිළිවෙළකින් තොරතුරු ලබා ගත හැකි නොවිණි නම් දිගු කාච කැමරා හෝ ශ්‍රවණ උපකරණ ද භාවිත නොකළ යුත්තෝය.

කපටිකමින් ඡායාරූප ලබා ගැනීමක් මෙහිදී සිදු වී ඇත. වැඩ වර්ජනය හේතුවෙන් මහජනතාව අපහසුතාවයට පත්ව සිටින අවස්ථාවකදී එය අයුතු ලෙස ප්‍රයෝජනයට ගනිමින් මේ ඡායාරූපය පළ කිරීම සිදු කොට ඇත. එය ද ආචාර ධර්ම කඩ කිරීමකි. එය මහජනයාගේ ගෞරවයට ද බලපෑම් කරනු ලබන්නකි.


ඒ අනුව මෙම ඡායාරූපය පළ කිරීම තුළින් පුවත්පත් ආචාර ධර්ම මෙන්ම මාධ්‍ය වෘත්තීය ප්‍රතිපත්ති (ආචාර ධර්ම) මාලාව ද උල්ලංඝනය වී ඇති අයුරු පැහැදිලි වේ. එබැවින් පුවත්පත් කලාවේදීන් විසින් පුවත්පතක ඡායාරූපයක් පළ කිරීමේදී තමන්ට අදාල ආචාර ධර්මයන්ට ගරු කරමින් ඒවා නිසි පරිදි පිළිපදින්නේ නම් පාඨකයාට මෙන්ම ග්‍රාහකයාට ද සාධාරණයක් මෙන්ම යහපතක් ද මැනවින් සිදුවනු ඇත.


එච්.පී.එන්.එච්.මධුරංගි

No comments:

Post a Comment