Search This Blog

Saturday, May 4, 2019

කඳුළ ඉතින් සමාවෙයන්



මිනිසා සමාධිගත කරවන ලොව බිහිවු අපුර්වතම මාධ්‍යයක් ලෙස කලාව හඳුනාගත හැකිය. කලාව නම් වු මෙම අපුර්වතම මානව ක්‍රියාවලියෙහි ගීතයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ගීතයක් පෝෂණය වන්නේ නිර්මාණකරුවන් තිදෙනෙකුගේ දායකත්වය ඔස්සේය. ගීත රචකයා, සංගීතඥයා හා ගායන ශිල්පියා යන කලාකරුවන් ත්‍රිත්වයකගේ නිර්මාණශීලී විශිෂ්ට කර්තව්‍යය හමුවේ ගීතයෙහි රසය විදින්නට රසිකයාට අවස්ථාව උදාවේ. අපුර්වතම සංකල්පනාවක් ඔස්සේ ගොඩනැගුණු පද රචනාවට සංයෝග කරනු ලබන ඊටම අවැසි ගී තනුව මෙන්ම ගීතයෙහි අපුර්වත්වය රසිකයාගේ සිත්සතන්හි කාවද්දන්නට හැකි වු ගායන විලාසය යන මෙකී අංග ත්‍රිත්වයම නිර්මාණශීලී වුද විශිෂ්ට වුද ගීතයක බිහිවීම කෙරෙහි බලපායි. ගීතය ඔස්සේ සමාජය තුළ ප්‍රබල සමාජ මතවාදයක් ගොඩනැඟීමට හැකිවනවා සේම ආදරය,විරහව වැනි සංවේදී මනුෂ්‍ය හැඟීම් ප්‍රකාශනයට ද හැකියාව පවතී. ගීතයක කාලය හා අවකාශය සීමිතව පවතින අතර ගී සංකල්පනාව රසිකයා වෙත ගෙන යන්නේ මෙම සීමිත කාල පරාසය තුළදීය.
කඳුළ ඉතින් සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඈ එනවා
සිරියහනේ තනි රකින්න

කළු වළාව නැගෙන්නෙපා
ගඟට උඩින් හැන්දෑවට
මුදුන් ලීය යටින් පොළොවේ
ගොම හේදෙයි අලුත් පිටම
කන්ද කපා හඳ පායා
සඳරැස් යහනට වඩින්න
සඳ එළියෙන් ඇගේ ගතේ
පිපි ගෝමර මල් දකින්න

කඳුළ ඉතින් සමාවෙයන්...

මල් දෙවැටේ වතුසුදු මල්
පිපේවී ඈ පිළිගන්නට
කොපුල් තලා ඔමරි සිනා
මතුවෙයි මල් පරදන්නට
බිළිඳු ගෙනා කිරි සුවඳක්
ගෙපැල දොරින් හමා එන්න
ඉඩ දීයන් වළාකුලේ
මගෙ සිහිනයේ මල් පිපෙන්න

කඳුළ ඉතින් සමාවෙයන්...
දක්ෂ ගායකයකු වන කීර්ති පැස්කුවෙල් විසින් ගායනය කරන ලද කඳුළ ඉතින් සමාවෙයන් ගීතය ඉතාම ජනප්‍රියත්වයට පත්වු ගීතයක් ලෙස හැඳින්විය හැකිය. ලක්මාලි කාරියවසම්ගේ පද සංකල්පනාවකට හා සුරේෂ් ද සිල්වාගේ නාද රටා මුසුව මෙම ගීතය නිර්මාණය වී ඇත.
මෙම ගීතයේ ජනප්‍රියත්වය කෙරෙහි මෙන්ම සාර්ථකත්වය කෙරෙහි ද පද රචනය බෙහෙවින් බලපා ඇත. ඒ අනුව ලක්මාලි කාරියවසම් යන ගී පද රචිකාව පිළිබඳ විමසීමේදී පෙනී යන්නේ ඈ ආදරය තේමා කොට ගනිමින් ගීත රචනයේ නියැලී ඇති බවයි. රචිකාවිය ආදරය නැමැති හැඟීම වඩාත් ආකර්ෂණීය ලෙස රසික සිත්සතන් තුළ කාවදින අයුරින් නිර්මාණකරණයේ යෙදී ඇත. රසිකයාගේ කුතුහලය ඇවිස්සෙන ආකාරයට ගීත රචනය සිදු කරමින් ගීතයට චමත්කාරයක් මෙන්ම අපුර්වත්වයක් ගෙන ඒම මැයගේ සුවිශේෂී කුසලතාවයකි. රචිකාවිය ගී පද රචනයට යොදා ගන්නා රචනා ශෛලීය ඉතා වෙනස්ය. වාච්‍ය බස් වහර සහ ලිඛිත බස් වහර යන දෙකම මුසුකොට පද සංකලනය සිදු කරයි. ඇය විසින් රචිත ගීත නිර්මාණශීලී වීමට හේතූපාදක වී ඇත්තේ පද රචනයෙහිලා යොදා ගන්නා උපමා, රූපක හා සංකල්ප රූපයන්ය.
 මැයගේ නිර්මාණ ඇත්තේ ඉතාම සුළු ප්‍රමාණයක් වන අතර වෙනත් නිර්මාණයක් ලෙස කීර්ති පැස්කුවෙල් විසින්ම ගායනා කරන බකිනි ගහේ අතු බරවී තිබුණා ගීතය හැඳින්විය හැක. මෙය කඳුළ ඉතින් සමාවෙයන් ගීතයේ දෙවන කොටස ලෙස ද ඇතැමුන් දක්වයි. ඒ අනුව ගී පද රචකයෙකු සතු ලක්ෂණ වන ප්‍රතිභාව, නිර්මාණ කුසලතාව, විෂය පිළිබඳ යථාවබෝධය, සංයමය හා ශික්ෂණය ආදී දෑ උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් පද රචනයේ නියැලී ඇති ලක්මාලි කාරියවසම් රචිකාවිය නිර්මාණශීලී මෙන්ම දක්ෂතාවයෙන් පරිපුර්ණ තැනැත්තියක ලෙස හැඳින්විය හැකිය.
අලුත් විවාහ වු මනමාලයකුගේ උතුරා යන හදවත අපුර්වාකාරයෙන් අප සිත්සතන්හි සිත්තම් කරවන බව කඳුළ ඉතින් සමාවෙයන් ගීතය ශ්‍රවණය කිරීමෙන් පැහැදිලි වේ. මෙම ගීතය තවදුරටත් අර්ථකථනය කිරීමක් පහත පරිදි දැක්විය හැකිය.

පාළුවට ගිය කටුක ජීවිතයක් ගත කළ මෙම ආදරවන්තයා සිය තනිකඩ ජීවිතය නිමා කරන්නට යයි. ඊට පෙර ඔහු තැබු සෑම පියවරක්ම ගෙවුනේ කඨෝර මඟකය. එවන් පෙම්වතෙකුගේ චිත්ත අභ්‍යන්තරය වඩා යථාර්ථවාදීව විස්තර කරන්නා වු මෙම ගීතය ආරම්භ වන්නේ මෙසේය.
කඳුළ ඉතින් සමාවෙයන් අපි වෙන්වෙමු අද
හවසට
මගේ ගෙපැලට ඈ එනවා සිරියහනේ තනි
රකින්න
ප්‍රේමවන්තයා සමුදෙන්නේ කඳුළටයි. එනම් ඔහු සවස් භාගයේ සමුදෙන්නේ කඳුළ නම් ශෝකාන්තයටයි. වයෝවෘද්ධව පැවැති ඔහුගේ හදවතටයි. ඒ සිය ඉරණම් ගැහැනිය තම නිවසට වඩිනා බැවිනි. එහෙත් රචිකාව ඈ එනතුරු ඔහු බලා සිටින බව පැවසුවද බලා සිටින්නේ කුමකට දැයි ස්ථායි මුල් භාගයෙන් නොපවසයි. එය අවිනිශ්චිතව තබන රචිකාවිය, පෙම්වතා කඳුළට සමුදෙන්නේ ඇයි දැයි යන ප්‍රශ්නාර්ථය රසිකයා ඉදිරියේ තබයි. ඔහුගේ ගෙපැලට ඈ නම් වු පොදු කුලකයක් පැමිණෙන බව අපට හැඟෙන්නේ ඉන්පසුවයි. මේ නිසා ඈ යනු කවුරුන් දැයි යම්කිසි ස්ථිර නිගමනයකට එළඹීමට රසිකයාට ස්ථායි කොටසේ අවසන් පද කිහිපය තෙක් ඉවසා දරා සිටීමට සිදුවේ. මේ නිසා ගීතයේ තේමාව පිළිබඳ යම් අදහසක් ලබාගැනීමේදී එය රසිකයාගේ කුතුහලය අවුස්සන සුළුය. ගීතයේ චමත්කාරය, අපුර්වත්වය පවතින්නේ මෙතැනය. මෙහි රචනා ශෛලිය වාච්‍ය බස් වහරක් හා ලිඛිත බස් වහරක් මුසු වු පද සංකලනයකි. ගීතයේ පළමු අන්තරා කොටස ඇරඹෙන්නේ මෙලෙසිනි.
කළු වළාව නැගෙන්නෙපා ගඟට උඩින්
හැන්දෑවට
මුදුන් ලීය යටින් පොළොවේ ගොම හේදෙයි
අලුත් පිටම
කන්ද කපා හඳ පායා සඳරැස් යහනට වඩින්න
සඳ එළියෙන් ඇගේ ගතේ පිපි ගෝමර මල්
දකින්න
තරුණයාගේ සිතේ නලියන හැඟීම් වඩා තාත්විකව වාච්‍යාර්ථයට නංවා ඇති ගී පද රචිකාවිය පවසන මුදුන් ලීය යටිනි පොළොවේ ගොම හේදෙයි අලුත් පිටම යන්නෙහි මතුපිට අර්ථයක් මෙන්ම යටි අරුතක් ද ගැබ්ව තිබීම කැපී පෙනේ. තරුණයාගේ ප්‍රාර්ථනය තමන් සෑදු අලුත් පැල වර්ෂාවෙන් සමතලා නොවේවා යන්නයි. එහෙත් මෙහි යටි අරුත නම් තරුණයාගේ අලුත් ජීවිතයට කිසිවක් හෝ කිසිවෙකු බාධාවක් නොවේවා යන්නයි. මෙහි වර්ෂාව යන්න අපට උපමාවක් ලෙස මෙන්ම සංකල්ප රූපයක් ලෙස වුවද ගත හැක්කේ මේ නිසාය. මෙහි අවසන් පද වැල් ද්විත්වයෙන් අරුත් ගැන්වෙන්නේ සඳරැස් එළියෙන් නැහැවෙන යොවුන් ආදරය පිළිබඳවයි. එය කෙතරම් ප්‍රියජනකද? හාදු, තොල්පෙති ආදිය පිළිබඳ ගීත ලියැවෙන මෙවන් යුගයක රචිකාවිය විසින් යොවුන් ආදරය වඩා නිර්මාණශීලීව ඉදිරිපත් කර ඇති අන්දම ඉතාම අගනේය.
මල් දෙවැටේ වතුසුදු මල් පිපේවී ඈ
පිළිගන්නට
කොපුල් තලා ඔමරි සිනා මතුවෙයි මල්
පරදන්න
බිළිඳු ගෙනා කිරි සුවඳක් ගෙපැල දොරින් හමා
එන්න
ඉඩ දීයන් වළාකුලේ මගෙ සිහිනයේ මල්
පිපෙන්න
විකසිත වු යොවුන් ආදරයේ සුබ ඵල උදා වී ඇත. යුවළ දැන් දරු සුරතල් බැලීමට උද්යෝගයෙන් පසුවෙයි. බිළිඳු ගෙනා කිරි සුවඳක් ගෙපැල දොරින් හමා එන කාලය බව තරුණයා පවසන්නේ එනිසාවෙනි. තරුණයා යළිත් වතාවක් වර්ෂාවට කන්නලව් කරන්නේ එහෙයිනි. පෙර කී පරිදි වර්ෂාව යනු බාධා නොහොත් රචිකාවිය යොදා ගත් සංකල්ප රූපයක් බව මැනවින් පැහැදිලි වේ.
මෙම ගීතයේ සංගීතමය සිතුවම පිළිබඳව කතා කිරීමේදී එය ඉතාමත් නිර්මාණශීලී බව නොකියාම බැරිය. බටනලාව භාවිතය මනාව සිදුකොට ඇති නිසා මෙය වඩාත් අපුර්වත්වයට පත් වී ඇත. සංගීත නිර්මාපකයා මෙහි අවසන් සංගීත කටයුතු නිමවා ඇත්තේ අනුවාද පිටපත් ගණනාවක් නිර්මාණය කිරීමෙන් අනතුරුවය. එනම් වරක් දෙවරක් නොව මෙහි තනුව සහ සංගීතය කිහිපවිටක්ම පිරිමැද ඇති බව අපට පෙනේ. ගීතයේ සංගීතය ජනතාව කෙරෙහි මෙතරම් ආකර්ෂණීය වීමට බලපා ඇත්තේ මේ නිසාය. එමෙන්ම ඉතා සංකීර්ණ තනුවක් කරා නොගොස් වඩා සෞම්‍ය , සරල තනුවක් යොදාගෙන ඇත. ගැමි තේමාවක් වුවද ජන ගී මුලාශ්‍ර යොදා ගැනීමට උත්සහා කර නොමැති සංගීත ශිල්පියා ඊට හේතුව ලෙස පෙන්වා දෙන්නේ මෙවැනි ගීතවලට එවැනි මුලාශ්‍ර යොදා ගැනීම තුළින් එහි සර්වකාලීන ගුණය අව ප්‍රමාණය විය හැකි බවයි.
ඒ අනුව උක්ත කරුණු වලින් සනාථ වනුයේ මෙම ගීතය වඩාත් නිර්මාණශීලී වුත් අරුත් සහිත වුත් අපුර්වත්වයෙන් පිරිපුන් එකක් බවයි.

එච්.පී.එන්.එච්.මධුරංගි 



2 comments: